2020 ජුනි 27 වන සෙනසුරාදා

කොමෝඩයෙනුත් මතුවන කොරෝනා මාරකේ!

 2020 ජුනි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 391

කොමෝඩය සහිත වැසිකිළි ‘Flush’ කිරීමේදී විසිරෙන ජල බිඳිති ඔස්සේ කොරෝනා වැනි වෛරස් ආසාදන පැතිර යා හැකි බවට චීන විද්‍යාඥයන් පිරිසක් පසුගිය සතියේ අනතුරු ඇඟවූහ. ඒ අනුව වැසිකිළිය ෆ්ලෂ් කිරීම මගින් වේගයෙන් පිටතට විසිරී යන ජල බිඳිති මගින් කෝවිඩ්-19 ට හේතුවන කොරෝනා වෛරසය ද ඍජුව අදාළ පුද්ගලයාගේ මුහුණ වෙත මුදාහරින බව ඔවුන් කළ පර්යේෂණ මගින් හඳුනාගෙන තිබේ. මේ සෞඛ්‍ය ගැටලුවට මුහුණ දිය හැක්කේ ද යහපත් අලුත් සෞඛ්‍ය සිරිත් විරිත් පුරැදු පුහුණු කර ගැනීමෙන් බව වෛද්‍ය මතයයි. අද අපගේ උත්සාහය මේ අලුත් අභියෝගය ගැන දේශය පාඨක ඔබ දැනුවත් කරන්නටයි.

අපි දැනටමත් දන්නා පරිදි, කොරෝනා වෛරසය පැතිරෙන්නේ කැස්ස සහ කිවිසුම්වලින් පිටවන වෛරස සහිත ජල බිඳිති හෝ ඒවා පතිත වීමෙන් දූෂිත වස්තූන් ස්පර්ශය මගිනි. නමුත් වැසිකිළි කො‍මෝඩයේ රඳන අපජලය ද ඉහළ වාතයට මුසුවීමෙන් මේ රෝගය පැතිර යා හැකි බව විද්‍යාඥයන්ගේ අලුත්ම පර් යේෂණ මාලාවකින් අනතුරු අඟවා තිබේ.

ආසාදිත පුද්ගලයන්ගේ මළමුත්‍රාවල පවා කොරෝනා වෛරසයේ හෝඩුවාවන් ඇති බව දැන් සොයාගෙන ටික කලකි. වැරුදි සහගත සහ අපිරිසුදු වැසිකිළි - කැසිකිළි භාවිතාමය  පුරැදු හේතුවෙන් මේ අපජලය ද කෝවිඩ්-19 රෝගය අන් අය වෙත සම්ප්‍රේෂණය වීමේ තවත් ක්‍රමයක් විය හැකිද යන්න දැන් සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානයට ලක්ව ඇති කාරණාවකි.

මේ ගැන ප්‍රධාන පර් යේෂණය කළ චීනයේ යැන්ග්ෂෝ විශ්වවිද්‍යාලයේ (Yangzhou University) විද්‍යාඥයන්  භාවිත කළ පරිගණක ආකෘතියට අනුව දැන් සනාථ වී ඇත්තේ මේ අපජල  බිංදු  වාෂ්පවලට කොමඩය ඇති මට්ටමේ සිට අඩි 3 ක් පමණ දක්වා ඉහළට ගමන් කළ හැකි බවයි. ඒ පුද්ගලයකුගේ මුහුණු මට්ටමයි.

චීනයේ යැංෂෝ විශ්වවිද්‍යාලයේ සිදු කළ මෙම පර් යේෂණයේ ප්‍රධානියා වන ජි-ෂියැං වැන්ග් සහ සගයන් පවසන පරිදි වැසිකිළි බඳුනට ජලය ගලා බසින විට එහි දෙපැත්තට ජලය පහර දෙන අතර එහිදී ඇතිවන කැළඹිලි සියුම් ජල බිඳිති වළාවන් ඇති කරයි. මේ ජල බිඳිති වළා ඉතා කුඩා සහ සැහැල්ලු බැවින් ඒවා ඉහළට ගමන් කර විනාඩියකට වඩා වැඩි කාලයක් ඉහළ වාතලයේ නිදහසේ පාවෙයි. ඒ කාලය තුළ අනාරක්ෂිත ලෙස සිටින අයකුගේ මුහුණ අතපය ආදිය මත මේ වෛරස සහිත ජල වාෂ්ප බිඳිති තැන්පත් විය හැකිය.

බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයේ බ්‍රිස්ටල් එයරොසෝල් පර් යේෂක ආචාර්ය බ්‍රයන් බ්ස්ඩෙක්ට අනුව කොරෝනා වෛරසය මේ ආකාරයෙන් පැතිර යාම වළක්වා ගැනීම සඳහා  පූර්වාරක්ෂාව සලසා ගැනීම දැන්ම වහාම හුරැකර ගත යුතු ඉතා අර්ථවත් ක්‍රියාවකි.

කොමඩයෙන් එන කොරෝනාවෙන් ගැලවෙන හැටි:

වැසිකිළිය භාවිත කළ පසු වතුර ෆ්ලෂ් කරන්නට පෙර එහි පියන වැසීම අනිවාර්ය කාරණාවකි. එමගින් වෛරස සහිත බිඳිති වළාවන් බාහිරයට එක්වීම වැළැක්විය හැකිය.

හැකි සෑම අවස්ථාවකදීම වැසිකිළි ආසනය පහත් කොට වසා තබාගත යුතුය. භාවිත නොකරන හැමවිටම සහ භාවිතයට ගත් සැණින්ම එහි පියන වසා තැබිය යුතුය.

වැසිකිළි ආසනය සහ වෙනත් සිරුර ගැටෙන ‘බීඩර්’ ජලකරාම වැනි සම්බන්ධතා ස්ථාන නිතරම විෂබීජනාශක යොදා පිරිසුදු කළ යුතුය.

වැසිකිළිය භාවිත කිරීමෙන් පසු නොවැරදීම අත් සහ මුහුණ, ගෙල ආදී නිරාවරණ ස්ථාන හොඳින් සබන් යොදා ගලන ජලයෙන් සේදිය යුතුය.

මෙම සරල සෞඛ්‍යාරක්ෂිත පියවර මගින් කෝවිඩ්-19 ට හේතුවන SARS-Cov-2 වෛරසය සම්ප්‍රේෂණය වීම වළක්වා ගත හැකිය. එසේම මේවා කවුරැත් නිතර පුරැදු කර ගත යුතු හොඳ සනීපාරක්ෂක පිළිවෙත්ය. ඒවා අනුගමනය කිරීම අපට කිසිසේත් අවාසියක් නොවෙයි.

කෝවිඩ්-19 ව්‍යාප්තිය : අලුත්ම තත්ත්වය

සමස්තයක් ලෙස ගත් කල මෙරට සුවය ලබන ආසාදිතයන් ගණන ක්‍රමයෙන් ඉහළ යමින් පවතී.

ඉකුත් සති අග වන විට එය +1560 පන්නා තිබුණි.

මෙරට සමස්ත කෝවිඩ් ආසාදිතයන් ගණන +2000ට ආසන්නය.

ලොව පුරා කෝවිඩ් නයින්ටීන් ආසාදිතයන් ගණන මේ වන විට ලක්ෂ +94ට ආසන්නය. සුවය ලැබූ ගණන ලක්ෂ +50ට කිට්ටු කර (479,879) හමාරය.

මේ වන විට සමස්ත ගෝලීය මරණ සංඛ්‍යාව ලක්ෂ 05ට ළං වෙමිනි. බදාදා වන විට එය +479,879 ක් විය.

ආසාදිතයන් තවමත් වැඩි අමෙරිකාවේය. එරට කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව +2,500,000කට ආසන්නය. සමස්ත මරණ සංඛ්‍යාව +123,500ට ළංව තිබේ.

ලොව දෙවැනි තැනට කෝවිඩ් පැතිර ඇත්තේ බ්‍රසීලයේය. එරට රෝගීන් +1,151,500 පන්නා තිබේ. ඉකුත් සතියේ වැඩිම ගෝලීය දෛනික කෝවිඩ් මරණ ගණන වාර්තා වූයේ බ්‍රසීලයෙනි. ඒ අනුව වාර්තා වූ මරණ 968ත් සමගින් බ්‍රසීලයේ මරණ +52,000 ද ඉක්මවා ගියේය. රැසියාවේ තත්ත්වය ද භයානකය. එහි රෝගීන් +600,000ට ළංව තිබේ. මරණ +8,500 කි.

අපට අනතුරැදායක ලෙස බලපාන අසල්වැසි ඉන්දියාවේ දෛනිකව හඳුනා ගැනෙන ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතී. ලෝකයේ අවදානම ඇති රටවල් අතර 4 වැනියා  ඉන්දියාවයි. එරට ආසාදිත පිරිස මිලියන භාගයකට ළං වෙද්දී, මරණ 15,000ට කිට්ටු කළේය. මේ වන විට රෝගීන් ලක්ෂය පැන්නූ රටවල් 19 ක් වෙයි. මරණ කිසිවක් වාර්තා නොවූ රටවල් ගණන 30 කි. ලෝකයේ කෝවිඩ්-19 ගොදුරැ වූ රටවල් 213 අතර ලංකාව ඇත්තේ 105 වැනි ස්ථානයේය. ලෝක සෞඛ්‍ය සංවිධානය ලංකාව ද කෝවිඩ් ආධාර ලැබිය යුතු රටවල් අතරට එක්කර තිබේ. ඉකුත් බ්‍රහස්පතින්දා වන විට මෙරටින් ආසාදිතයන් 40ක් එකවර වාර්තා වීමත් සමඟ නැවතත් කෝවිඩ්-19 අලුත් රෝගී පොකුරැ බිහිවීමේ අවදානම ද මතුව තිබේ. මේ නිසා කෝවිඩ්-19 සඳහා හඳුන්වා දුන් සෞඛ්‍ය ආරක්ෂණ පූර්ව උපක්‍රම සෑමවිටම භාවිත කරන ලෙස වෛද්‍ය අංශ අවධාරණය කරයි. අඩුම තරමේ මීටරයක දුරක් එකිනෙකා අතර පවත්වා ගැනීම, මුඛ ආවරණ පැළඳීම, අත් හොඳින් සෝදා පිරිසුදුව තබාගැනීම, මුහුණ සහ ඇස් ස්පර්ශයෙන්  වැළකීම මේ අන්දමට පිළිපැදිය යුතු කරුණුය.

www.worldometers.info

 සුගත්