2020 මැයි 23 වන සෙනසුරාදා

කොවිඩ් නිසා අමතකව යන COPD

 2020 මැයි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 215

මේ දවස්වල කාගේත් දැඩි අවධානය කොවිඩ් 19 කොරෝනා වෛරස් රෝගයට නිසා ස්වසන පද්ධතිය ආශ්‍රීත වෙනත් ලෙඩ ගැන අමතකව යනවා. ඒත් එලෙස අමතක කළ නොහැකි බරපතළ රෝගයක් හැටියට නිදන්ගත පෙනහළු අවහිරතාව නැතිනම් COPD හඳුන්වා දිය හැකියි.

COPD හැටියට හඳුන්වන රෝගයක් ඇති බව අපි බොහෝ දෙනා දන්නේ නෑ. නමුත් වැඩිපුරම දක්නට ලැබෙන පෙනහළු ආශ්‍රිත සැඟවුණු රෝගයක් හැටියට මෙය හඳුන්වන්න පුළුවනි. ඉස්සර මේකට කිව්වේ නිදන්ගත බ්‍රොන්කයිටිස් නැත්නම් එප්සිමා කියලයි. ඒ රෝග තත්ත්ව දෙකම මූලික මට්ටමේ රෝග දෙකක්. වඩාත් දරුණු තත්ත්වයට පැමිණියාම දැන් එය හඳුන්වන්නේ නිදන්ගත පෙනහළු අවහිරතාව නැතිනම් COPD හැටියටයි.
නිදන්ගත පෙනහළු අවහිරතාව හටගත්තාම නිසිපරිදි සිරුරට අවශ්‍ය ඔක්සිජන් ලැබෙන්නේ නැතුව යනවා. විශේෂයෙන්ම හෘදයට අවශ්‍ය ඔක්සිජන් සැපයුම අඩුවෙනවා. මේ නිසා හදවතට දෙගුණයක් මහන්සි වෙලා වැඩකරන්න සිදුවෙනවා. ඒක මාරාන්තික තත්ත්වයකට මඟ පෙන්වනවා. 2015 දී මේ රෝගයට මිලියන 175ක් ලෝකය පුරා ගොදුරැව සිටියා. ඒ හේතුවෙන් මිලියන 32ක් මියගිහින් තියෙනවා. රෝගයට හේතුකාරක වන පාරිසරික තත්ත්වය සහ ඇබ්බැහි ජීවන රටාව වෙනස් කර ගැනීමෙන්ම පමණක් මේ රෝගයට ගොදුරු වීමෙන් වැළැකිය හැකියි.

රෝග ලක්ෂණ:

• මාස තුනකට වඩා කල් අල්ලා ඇති කැස්ස
• නිතර සෙම පිටවීම
• හුස්ම ගැනීමේ අපහසුතාව (අමාරුවෙන් හුස්ම ගැනීම)
• නිතර පවතින සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වය
• හුස්ම පිටකිරීම අපහසුවීම
• පපුවේ තද ගතිය
• හුස්ම ගන්නා විට හඬක් පිටවීම
• හුස්ම ගැනීමට දෙකට නැමීමට සිදුවීම

මුලින් කැස්ස සහ සෙම පිටවීම හැර වෙනත් අපහසුතා දක්නට නොලැබෙන නිසා COPD ගැන සැලකිල්ල යොමුවීම අඩුයි. අත්බේත් හෝ ප්‍රතිජීවක හිතූ හැටියට අරගෙන තාවකාලික සහනය සොයාගියත් නිසි වෛද්‍ය පරීක්ෂණයකින් තොරව සිටියොත් සිදුවන්නේ මෙය දිනෙන් දින බරපතළ වීමයි.

මොනවද හේතු?

• රෝගය ඇතිවන්නේ බොහෝ විට අවුරුදු 40ට වැඩි අයටයි.
• පෙනහළුවල නාල අවහිර වීම සඳහා බලපාන ප්‍රධාන සාධකය දුම්පානයයි.
• ඊළඟට වායුවේ ඇති දූෂ්‍ය ද්‍රව්‍ය සහ අපද්‍රව්‍යයි.

නියමාකාරයෙන් පිරිසුදු කර නැති දූවිලි බැඳුණු විදුලි පංකා, වායු සමීකරණ යන්ත්‍ර වගේම දූවිලි බැඳුණු ජනෙල් දොර තිර නිසි ලෙස පවිත්‍ර නොකළ කොට්ට මෙට්ට උර, පොරවන රෙදි, පරිසරයේ දූවිල්ල, දර ලිප් දුම සහ වාහන දුම, ඇස්බැස්ටස් කෙඳිති බඳු කෘත්‍රිම වායු දූෂක, නගරබදව ජීවත්වීම, රැකියාවේ ස්වභාවය හේතුකොට එම ස්ථානයේදී ඇතිවන දූෂිත වායුවට ගොදුරු වීම, ගල් අඟුරැ පුළුන් ආශ්‍රිත කර්මාන්ත, රෙදිපිළි කර්මාන්ත, කෘෂිකාර්මික කටයුතුවලදී ආඝ්‍රණය වෙන කැඩ්මියම් ප්‍රමුඛ කෘෂි රසායන, වෙල්ඩින් වැඩවලදී නැගෙන දුම මේ සඳහා මූලිකව බලපාන කරුණුය. එසේම ජානමය හේතූන්ද COPD සඳහා බලපාන බව ඔප්පු වී තිබේ. නමුත් එය ඉතාමත් විරලව ඇතිවන්නකි. ජානමය සාධක සහිත ඒ සමඟම පරිසරයේ දූෂිත වායුව ආඝ්‍රාණයට ලක්වන සහ විශේෂයෙන්ම දුම්බොන අය මේ රෝග තත්ත්වයට ඉක්මනින්ම ගොදුරු වෙයි.

හඳුනාගැනීම සහ ප්‍රතිකාර

ඉතාමත් පහසුවෙන් සිදුකරන පෙනහළු පරීක්ෂාවක් මගින් මේ තත්ත්වය කලින්ම හඳුනාගත හැකිය. ඒ සඳහා අවශ්‍ය පහසුකම් සෑම රෝහලකම ළය රෝග සායනවල තිබේ. වෛද්‍ය නියමය පරිදි ප්‍රතිකාරවල යෙදීමත්, තමන්ගේ ජීවන රටාව පරිසරය නිසි ලෙස සකසා ගැනීමත් මගින් මෙය නිට්ටාවටම සුවකරගන්නට හැකියි.

 සුගත් පී. කුලතුංගආරච්චි