2020 මාර්තු 14 වන සෙනසුරාදා

භයානක ලෙඩ නසන තරුණ බව රැක දෙන ප්‍රතිඔක්සිකාරක

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 1410

යම් ආහාරයක් ඖෂධීය ගුණයෙන් යුතු ක්‍රියාකාරී ආහාරයක් වීමට නම් එහි ප්‍රතිඔක්සිකාරක ගුණ තිබිය යුතුය. ප්‍රතිඔක්සිකාරක ගුණ යනු ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවල දී නිපදවන මුක්ත ඛණ්ඩ (Free radicals) ශරීරයෙන් ඉවත් කිරීමේ හැකියාවයි. මේ සඳහා ආහාරවල අඩංගු ස්වාභාවික රසායනික සංයෝග විශාල දායකත්වයක් ලබා දේ. ආහාරයක අඩංගු මෙම ස්වභාවික රසායනික සංයෝග, ප්‍රතිඔක්සිකාරක සංයෝග (Antioxidants) නම් වේ. මෙම ප්‍රතිඔක්සිකාරක සංයෝග මගින් ආහාරයක ප්‍රතිඔක්සිකාරක ගුණ (Antioxidant property) ඇති කෙරේ. මෙය ආහාරය තිබිය යුතු ප්‍රමුඛතම ඖෂධීය ගුණයයි.

ස්වභාවික ප්‍රතිඔක්සිකාරක (Antioxidants) ඇත්තේ ස්වභාවික ශාක තුළය. එනම්, පාරම්පරික සහල්, එළවළු, පළතුරු, ඖෂධීය ශාක වර්ග සහ කුළුබඩුවල මේවා අඩංගුය. මේ නිසා සහල්, එළවළු, පළතුරු, කුළුබඩු සහ ඖෂධීය ශාක ආහාරයට ගැනීමෙන් ප්‍රතිඔක්සිකාරක ශරීරයට ලබා දී ශරීරය නිරෝගී කළ හැක.

මේ වනවිට සොයාගෙන ඇති ප්‍රධාන ප්‍රතිඔක්සිකාරක කාණ්ඩ කීපයකි. එනම් ෆයිටොකොමිකල්ස්, විටමින් වර්ග, එන්සයිම සහ ඇතැම් ඛනිජ ලවණ වේ. මෙයින් ෆයිටොකෙමිකල්ස්, විටමින් වර්ග සහ ඛනිජ ලවණ වර්ග ශාක තුළ අඩංගු වන අතර, එන්සයිම අඩංගු වන්නේ ශරීරය තුළය. ශරීරය තුළදී එන්සයිම සක්‍රීයව ක්‍රියා කිරීමෙන් ශරීරය තුළ ප්‍රතිඔක්සිකාරක ගුණ ඇති කෙරේ.

අප රටේ ඇති එළවළු, පළතුරු, ඖෂධීය ශාකවල (කෘෂි රසායන නොමැති) මෙම ප්‍රතිඔක්සිකාරක සංයෝග ප්‍රමාණයෙන් සහ ගුණාත්මකව ඉහළය. මෙම ශාකවල විශේෂත්වය වනුයේ දැනට ලොව ඇති ආහාර සහ ඖෂධීය ශාකවලින් ප්‍රතිඔක්සිකාරක ගුණ වඩාත් වැඩි වනුයේ මෙම ශාක ආහාරවල වීමය. එබැවින් ශරීරයට හිතකර සංයෝග විශාල ප්‍රමාණයක් ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ නම් මෙම ස්වභාවික ශාක ආහාර පරිභෝජනයට ගත යුතුය. මෙහි වැදගත්ම කරුණක් වන්නේ ආහාර ගණනාවක් පරිභෝජනය කිරීමෙන් මෙම සංයෝගවල එකතුව නිසා ශරීරයට ලැබෙන ප්‍රතිඔක්සිකාරක ගුණ, සිය දහස් වරක් ගුණනය වී ආහාර තුළින් ලැබීමයි. මෙය විශිෂ්ට පෝෂණයක තිබිය යුතු ලක්ෂණයකි.

ප්‍රතිඔක්සිකාරක නිසා ශරීරයේ සෑම අවයවයකම මුක්ත ඛණ්ඩ ඉවත් වී, ඒවා නීරෝගීව ක්‍රියා කිරීමට පටන් ගනී. එම අවයව තමන්ට නියමිත වූ කාර්යයන් නිසි පරිදි ඉටු කරයි. මේ අනුව අග්න්‍යාශය නීරෝගීව ක්‍රියා කරමින් දියවැඩියාව පාලනය කිරීමට අවශ්‍ය ඉන්සියුලින් නිපදවයි. අක්මාව ප්‍රෝටීන සංශ්ලේෂණය, විෂ හරණය, හෝමෝන සමතුලිත කිරීම වැනි එයට නියමිත වූ කාර්යයන් නිසි පරිදි ඉටු කරයි. වකුගඩු මුත්‍ර පෙරීම, හෝමෝන සමතුලිත කිරීම වැනි එයට නියමිත වූ කාර්යයන් නිසි පරිදි සිදුකරයි. ආහාර මාර්ග පද්ධතිය, මොළය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, හෘදය වස්තුව ඇතුළු සියලුම ඉන්ද්‍රියයන් තම තමන්ට නියමිත වූ කාර්යයන් නිසි පරිදි නීරෝගීව සිදුකරයි. ප්‍රතිඔක්සිකාරක නිසා මුළු ශරීරයටම නීරෝගීතාව ලැබෙනුයේ මේ අයුරිනි.

මෙම ප්‍රතිඔක්සිකාරක මගින් ලැබෙන අනෙකුත් ප්‍රධාන ගුණයක් නම් ශරීරයෙන් විෂ වර්ග ඉවත් කිරීමේ හැකියාවයි. ප්‍රතිඔක්සිකාරකවලට ශරීරයට ඇතුළු වන විෂ වර්ග නි‍ශේධනය කිරීමේ හැකියාව ඇත. ආහාර මාර්ගය සහ අක්මාව තුළ දී විෂ වර්ග නිෂේධනය කෙරේ. මෙම විෂ ඉවත් කිරීමේ හැකියාවට බලපාන අනෙකුත් සාධක වනුයේ ශරීරයේ විෂ ඉවත් කරන අක්මාව, වකුගඩු සහ වසා පද්ධති වැනි අවයව නීරෝගීව හොඳින් ක්‍රියා කිරීමයි.

අද වෙළෙඳපොළෙහි ඇති ආහාර බොහෝ ප්‍රමාණයක ශරීරයට අහිතකර රසායන ද්‍රව්‍ය පවතී. මේවා ප්‍රධාන වශයෙන් කෘෂි රසායන, කෘත්‍රිම රසකාරක සහ කෘත්‍රිම ආහාර කල් තබා ගැනීමේ ද්‍රව්‍ය වේ. මේවා ආහාරයක ප්‍රතිඔක්සිකාරක ගුණ විනාශ කරන ප්‍රධාන සාධකයන්ය. දළ වශයෙන් ආහාරයක 40% - 50%ක් පමණ ඖෂධීය ගුණ මෙම අහිතකර රසායන ද්‍රව්‍ය නිසා විනාශ වේ. මෙම කෘත්‍රිම රසායන ද්‍රව්‍ය ශරීරයට ඉතා අහිතකරය. මේවා ආහාර සමග ශරීරගත වී පටක තුළ තැන්පත් වී දියවැඩියාව, හෘදයාබාධ, පිළිකා, වකුගඩු රෝග, අක්මා රෝග, ශ්වසන ආබාධ, ආතරයිටීස් සහ බොහෝ හඳුනා නොගත් රෝග වැළඳේ. මේ නිසා මිනිස් ශරීර තුළ තැන්පත් වී ඇති මෙම අහිතකර රසායනික සංඝටක ශරීර පටකවලින් ඉවත් කිරීම අත්‍යවශ්‍ය කරැණකි. ඒ පටකවල නීරෝගීතාව වෙනුවෙනි. ශරීර පටක තුළ තැන්පත් වී ඇති මෙම රසායනික සංඝටක ඉන් ඉවත් කිරීම සාමාන්‍යයෙන් අසීරැය. නමුත් ප්‍රතිඔක්සිකාරක විශාල සංඛ්‍යාවක් නියමිත අනුපාතවලින් ආහාරයට එක්කළහොත් එම විෂ ඉවත් වීම සිදුවේ. මෙය ප්‍රතිඔක්සිකාරක මගින් රෝග සුව කිරීමේ යන්ත්‍රණයයි. මෙහිදී රෝගී වූ පටකවල ව්‍යුහයන් සහ ක්‍රියාකාරීත්වයන් යථා තත්ත්වයට පත්වීම සිදුවේ.

අද පරිභෝජනය කරන බොහෝ නූතන ආහාරවල ප්‍රතිඔක්සිකාරක ශක්තිය දැනට වෙළෙඳපොළෙහි ඇති කෘත්‍රිම රසායනික සංඝටකවල විෂ ඉවත් කිරීමට තරම් ප්‍රබල නැත. උදාහරණයක් වශයෙන් පාන්වල ප්‍රතිඔක්සිකාරක ගුණ ඉතාම අඩුය. පාන් පිටිවලින් සෑදූ ආහාරවලද ප්‍රතිඔක්සිකාරක ගුණ අල්පය. නූතන සහල්වලද ප්‍රතිඔක්සිකාරක ගුණ සාපේක්ෂව අඩුය. එළවළු සහ පළතුරුවලද කෘෂි රසායන අඩංගු නිසා ඒවායේ ප්‍රතිඔක්සිකාරක ගුණද සාපේක්ෂව ඉතා අඩුය. මේ නිසා නූතන ආහාර හරහා රෝග පාලනය වීම ඉතා අවමය.

නමුත් පාරම්පරික සහල්, ඖෂධීය කුළුබඩු සහ ඖෂධීය ශාකවල ප්‍රතිඔක්සිකාරක ගුණ ඉහළය. මෙම ආහාරවල ප්‍රතිඔක්සිකාරක ශක්තිය කෘත්‍රිම රසායනික සංඝටකවල විෂ ඉවත් කිරීමට තරම් ප්‍රබලය. පාරම්පරික ඖෂධීය ආහාරවල මෙම ප්‍රතිඔක්සිකාරක ශක්තිය ඉතා ඉහළ බව පර්යේෂණාත්මකව ද සනාථ කර ඇත. මෙම ආහාර වර්ග ගණනාවක් එකට එක් කිරීම තුළ මෙම ප්‍රතිඔක්සිකාරක ශක්තිය ප්‍රබල ලෙස ඉහළ යයි. ප්‍රතිඔක්සිකාරක විශාල සංඛ්‍යාවක් එක්වූ කළ ආහාරයේ ප්‍රතිඔක්සිකාරක ගුණය ප්‍රබලය. මෙය ඉහළ ඖෂධීය විභවයක් සහිත ආහාරයක් ඇතිවීමට හේතුවේ.

ඇතැම් ආහාරවලට ඍජුවම ශරීරයේ ඇති විෂ අයන වර්ග ඉවත් කිරීමේ හැකියාව ඇත. උදාහරණ වශයෙන් කොත්තමල්ලි, සූදුරැවලට ශරීරයේ ඇති විෂ අයන ඉවත් කිරීමේ හැකියාව ඇත. එසේම මුරැංගා කොළවලට ද ජලයේ (ආහාරවල) අඩංගු ආසනික් ඉවත් කිරීමේ හැකියාව ඇත. මේ නිසා තෝරා බේරාගෙන වස විෂ නැති එළවළු හෝ පළතුරු ආහාරයට ගන්නේ නම් ඉන් මෙම ඉහළ ඖෂධීය ගුණ ලබාගත හැක.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00