2020 ජනවාරි 11 වන සෙනසුරාදා

හිතුමතේ ලේ දෙන්න පුළුවන්ද?

 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 253

අපේ රටේ බොහෝ දෙනා දානය මහා පිනක් හැටියටයි සලකන්නෙ. නමුත් බොහෝදෙනා තුළ තවමත් ඇත්තේ පසුගාමී බවකුයි. සමහරු මේ ගැන ඇති මිත්‍යා මත රුධිරය දන්දීම නිසා ඇත්තෙන්ම තවත් කෙනකුගේ ජීවිතය බේරාදෙන අතරම තමන් නිරෝගී බව ගැන චිත්ත ප්‍රීතියක් සහ ආත්ම විශ්වාසයකුත් ඇති කරනවා. ලේ ලබාදීම එක්තරා විදියකට ඔබ සතු සමාජීය වගකීමක්ද වෙනවා. මතක තබාගන්න ඔබට රුධිරය දන්දෙන්නට හැකියාව තිබෙනවා කියන්නෙත් ලොකු වාසනාවක්. මොකද හැමෝටම හිතූ හිතූ හැටියට ලේ දෙන්න බෑ. ඒකටත් සුදුසුකම් තියෙන්න ඕනෑ.

රුධිර දායකයකු වීමට නම් පහත සදහන් මූලික සුදුසුකම් සපුරා තිබිය යුතුයි.

වයස අවුරැදු 18–60 අතර ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම (ඔබ පළමුවරට රුධිර පරිත්‍යාග කරන්නේ නම් අවුරුදු 55 වන තෙක් ඒ සඳහා අවස්ථාව ඇත.)

බර  කිලෝ 50 ට වැඩිවීම (බර 50kgට අඩු පුද්ගලයකුගෙන් රුධිරය ගැනීම එම දායකයාට හානිකරය.)

රුධිර හිමොග්ලොබින් ප්‍රමාණය ඩෙසිලීටරයටග්‍රෑම් 12 ට වැඩිවීම.

මාස 4කට වරක් නැවත නැවත පූර්ණ රුධිරය පරිත්‍යාග කළ හැකිය. පට්ටිකා පමණක් සති 2කට වරක් ලබාදිය හැකිය.

මෙම සුදුසුකම්වලට අමතරව රුධිර පරිත්‍යාගයේ දී පහත කරුණු ගැන ද අවධානය යොමු කෙරේ.

පරිත්‍යාගය නිසා රුධිර දායකයාට යම් සෞඛ්‍ය ගැටලුවක් ඇති වේ නම් රුධිරය ලබා නොගනී.

රුධිරයෙන් බෝවන රෝගී තත්ත්ව සහිත දායකයකුගෙන්ද ලබා නොගනී.

ඔබ ලබාදෙන රුධිරය රෝගී දරුවකුට, ගර්භණී මවකට හෝ ඇතැම්විට ඔබේම හිතවතෙකුට ලබාදීමට ඉඩ ඇත. මේ නිසා ඔවුන්ගේ ජීවිතද අනතුරේ නොහෙළීමට පහත තොරතුරු ඔබගේ වෛද්‍යවරයාට දැනුම්දීම වටින්නේය.

හංගන්න එපා!
ඔබට විශ්වාසවන්ත එක් ලිංගික සහකරුවකුට වඩා සිටින්නේ නම්, ඔබ පිරිමි - පිරිමි ලෙස  සමරිසි ලිංගික සබඳතා පවත්වා ඇත්තෙක් නම්, ඔබ කවදා හෝ මුදල් අපේක්ෂාවෙන් ලිංගික කටයුතුවල යෙදී ඇත්නම්, ඔබ මත්ද්‍රව්‍ය එන්නත් ලබාගෙන ඇත්නම්, ඔබට කවදා හෝ සෙංගමාලය වැළඳී ඇත්නම්, ඔබ කුමන හෝ නිදන්ගත රෝගයකින් පෙලෙන්නේ නම්, ඒ ගැන නොසඟවා වෛද්‍යවරුන්ට පවසන්න.

පසුගිය වසර ඇතුළත ඔබ ලබාගෙන ඇති එන්නත් පිළිබඳ සියලු විස්තර, ඔබට කවදා හෝ රුධිරය හෝ රුධිර කොටස් ලබාදී ඇත්නම්, ඔබ පසුගිය වසරක කාලය ඇතුළත පච්ච කෙටීම, කන් විදීම ආදියට පෙළඹී ඇත්නම්, මාස 6ක් ඇතුළත ඔබ යම් ශල්‍යකර්මයකට මුහුණ දී ඇත්නම්, ඔබ යම් රෝගී තත්ත්වයකින් පසුවූයේ නම් හෝ යම් ඖෂධයක් ලබා ගන්නේ නම්, ශරීරයේ යම් තුවාලයක් පවතින්නේ නම්, ඒවා ගැනත් කියන්න.

ඔබ පහත සඳහන් කවර හෝ රෝගී තත්ත්වයකින් පෙළෙන්නේ නම් එයද නොසඟවා  වෛද්‍යවරයාට දැනුම් දෙන්න.

ස්නායු ආබාධ, වලිප්පුව, හදවත් රෝග, මානසික රෝග, දියවැඩියාව, ඇදුම, පිළිකා, අධිරැධිර පීඩනය, වකුගඩු හෝ අක්මාව ආශ්‍රිත රෝග.
රුධිරය පරිත්‍යාග කරන මොහොතේ තිබිය යුතු සුදුසුකම්...

ඔබ මනා ශාරීරික සෞඛ්‍ය තත්ත්වයෙන් සිටිය යුතු අතර ප්‍රධාන ආහාර වේල පැය 4ක් ඇතුළත ලබාගෙන තිබිය යුතුය. පැය 6ක නින්දක් ලබා තිබිය යුතුය. අධික ලෙස වෙහෙස වී නොසිටිය යුතුය.

ඔබ රුධිරය පරිත්‍යාග කරන්නට එනවිට, අනිකුත් දායකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂාව සඳහාත් රැධිරය එකතු කරන කාර්ය මණ්ඩලයේ සනීපාරක්ෂාව සහ පහසුව පිණිසත් රුධිරය රැස් කිරීමේ කඳවුර වෙත පිරිසිදුව පැමිණීම වැදගත් වේ.

රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු පිළිපැදිය යුතු කරුණු...

අවම වශයෙන් මිනිත්තු 20ක්වත් විවේකීව, රුධිරය එක්රැස් කරන ස්ථාන භාර වෛද්‍යවරයාගේ අධීක්ෂණය යටතේ එම ස්ථානයේම රැඳී සිටිය යුතුය.

සුලු ආහාරයක් සහ දියරමය පානයක් ලබාගත යුතුය.

රුධිරය ලබාගත් ස්ථානයේ ඇලවූ ප්ලාස්ටරය අවම වශයෙන් පැය 12ක් වත් ගතවනතුරු ඉවත් නොකළ යුතුය.

එළඹෙන පළමු පැය 4 තුළ හොඳින් දියර වර්ග පානය කළ යුතුය. රුධිර පරිත්‍යාගයට පෙර පැය 4 තුළද මෙලෙස කිරීමෙන් ඔබට ඇතිවන ශාරීරික අපහසුතා මගහැරෙනු ඇත.

ඊළඟ ප්‍රධාන ආහාර වේල ලබාගන්නාතුරු කිසිසේත්ම මත්පැන් පානය නොකළ යුතුය.

ව්‍යායාම කිරීම, කිමිදීම හෝ දියේ ගිලී නෑම නොකළ යුතුය. සාමාන්‍ය ලෙස දියනෑම කරන්න.

රුධිරය ලබාදුන් දිනයේදී බරවාහන පැදවීම, ගුවන්යානා පැදවීම හෝ එවන් අනතුරැදායක ක්‍රියා නොකළ යුතුය.

රුධිරය ලබාදී සතියක් ඇතුළත ඔබට යම් බෝවන රෝගයක් වැළඳුණේ නම් ඒ පිළිබඳව අදාළ ලේ බැංකුවට දැනුම් දෙන්න.

නිරතුරු සමබර ආහාර වේලක් ලැබීමෙන් ඔබ මනා සෞඛ්‍යයෙන් පසුවන අතර එවිට ඔබ නිරතුරු රුධිර පරිත්‍යාගයටද සුදුසු අයෙක් බවට පත්වේ.

රුධිරය පරිත්‍යාගය ගැන මිත්‍යා මත සහ යහපත් මත!

මේ නිසා කිසිවිටෙක ඔබේ ශරීරයේ බර අඩු හෝ වැඩි නොවේ.

වෙනත් රෝගාබාධ ඇති නොවේ.

මෙම පරිත්‍යාගයෙන් ඔබ ලබන මානසික සුවය වෙනත් ක්‍රියාවකින් ලැබිය නොහැකි තරම්ය.

රුධිර දායකයන්ට හෘදයාබාධ අංශභාගය වැනි රෝග වැළඳීමේ ප්‍රවණතාව අන් අයට වඩා අඩුය.

ඔබ ලබාදෙන රුධිරය ඉතා සුලු කාලයකින් ශරීරය තුළ නැවත නිපදවීම ඇරඹේ.

ලේ දෙන හැටි!
මෙය කිසිදු අතුරු ආබාධයක් නැති සරල ක්‍රියාවලියකි. අප රට තුළ ස්වෙච්ඡා දායකයන්ගෙන් පමණක් රුධිර ලබාගැනේ. ලේ දෙන අවස්ථාවක ප්‍රථමයෙන් ඔබගේ බර පරීක්ෂා කර නිවැරදි තතු ලබාදීම සඳහා රුධිර දායක ප්‍රකාශය ඔබට ලබාදේ. හොඳින් කියවා මෙය සම්පූර්ණ කළ යුතුවේ. තනිවම අදාළ දායකයා විසින්ම මෙය සත්‍ය තොරතුරුවලින් පිරවිය යුතුය. දායකයාගේ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය හා දුරකතන අංකය අනිවාර්යයෙන් ඇතුළත් කළ යුතුය. මෙයින් පසු වෛද්‍යවරයා වෙත යොමු කෙරේ. වෛද්‍ය පරීක්ෂණයෙන් සමත් වන පුද්ගලයාට රුධිරය එකතු කරන බෑග් ඉඳිකටුව, අදාළ බාර්කෝඩ් ලේබල් සහ ලේ දන්දීම සහතික කරන පොත ලබාදෙයි. කිසිවිටක එම පැකට්ටුව හෝ ඉඳිකටුව ඔබ විවෘත නොකළ යුතුය. ඔබගේ හිමොග්ලොබින් ප්‍රමාණය පරීක්ෂා කර මැලේරියාව සඳහා පරීක්ෂා කිරීමටද රුධිර සාම්පලයක් ලබාගැනේ. පැකට්ටුව සමඟ දායකයා රැධිරය ලබාගන්නා ස්ථානයට යොමු කෙරේ. මෙහිදී සම්පූර්ණ ජීවාණුහරණ තත්ත්ව යටතේ රුධිරය එකතු කෙරේ.
- සුගත්

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00