2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

වැඩි වුණත් : අඩු වුණත් ලෙඩ දෙන ෆ්ලෝරයිඩ්

 2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 537

දත් හා අස්ථි ගැන කියැවෙන හැම විට අසන්නට ලැබෙන වචනයක් තමා ෆ්ලෝරයිඩ්. ස්වභාවිකව පොළොවේ දක්නට හැකි අහාර මගින් අපේ සිරුරට ලැබෙන ‘‘හැලජන කාණ්ඩයට’’ අයත් අතිශයින්ම ක‍්‍රියාකාරී මූලද්‍රව්‍යයක් හැටියට හඳුන්වාදිය හැකි මිනිස් සිරුරකට ඇතුවත් බැරි නැතුවත් බැරි සංඝටකයකි මේ.

ෆ්ලෝරයිඩ් යමකුගේ ශරීරයේ නියමිත ප‍්‍රශස්ත අගයක පවතින විට දත් හා අස්ථිවලට ඉතා හිතකර ලෙස ක‍්‍රියා කරයි. නමුත් යම් මිනිස් සිරුරක ෆ්ලෝරයිඩ් අතිරික්තව පවතින විට දත් හා අස්ථීවලට අහිතකර වීමට අමතරව තවත් ආබාධ රැසකටම මග පාදන්නට ද හේතු වේ. ෆ්ලෝරයිඩ් අධි සාන්ද්‍රණයකින් කෙනකුගේ මරණය පවා සිදු විය හැකි බව වෛද්‍ය මතයයි.

ෆ්ලෝරයිඩ් හා පානීය ජලය:

අපට සාමාන්‍යයෙන් ෆ්ලෝරයිඩ් ලැබන පහසුම මාර්ගය වන්නේ පානීය ජලයයි. ඊට අමතරව අප ආහාරයට ගන්නා කොළ, එළවළු, පළා වර්ග, තේ, මාළු ආදී ආහාර පාන මගින් සිරැරට අවශ්‍ය ෆ්ලෝරයිඩ් අපට ලබා දේ. එහෙත් සෑම මිනිස් සිරුරකටම වැඩිම හා හොඳම ප‍්‍රශස්තම ෆ්ලෝරයිඩ් ප‍්‍රමාණයක් ලබා දෙන්නේ පානීය ජලය මගිනුයි.

පානීය ජලය කොටස් දශ ලක්ෂයක ෆ්ලෝරයිඩ් කොටස් 01ක් අඩංගුය. මේ අනුව පානීය ජලයේ තිබිය යුතු ප‍්‍රශස්ත ෆ්ලෝරයිඩ් මට්ටම වන්නේ ජලය ලීටයරකට ෆ්ලෝරයිඩ් මිලි ග‍්‍රෑම් 0.5 සිට 1 දක්වා අගයකි.

සමහර රටවල පානීය ජලයේ ෆ්ලෝරයිඩ් නිසියාකාරව නොමැති විට නළ ජලයට ෆ්ලෝරයිඩ් එකතු කරන අවස්ථා ද තිබේ. සමහර විට සාමාන්‍ය ලූණු හා පිටිවලට පවා ෆ්ලෝරයිඩ් එකතු කරන අවස්ථා ඇත.

තවත් සමහර අවස්ථාවල දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත සමහර දරැවන්ට ෆ්ලෝරයිඩ් අඩංගු ඖෂධ (පෙති) ලබා දෙන අවස්ථා ද අපට හමු වේ. ශ‍්‍රී ලංකාවේ එවැනි ක‍්‍රියාමාර්ග අමුතුවෙන් ක‍්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් මතු නොවේ. හේතුව පානීය ජලය තුළ අවශ්‍ය පමණින් ෆ්ලෝරයිඩ් සංඝටක අඩංගුව තිබීමයි.

එහෙත් සමහර අවස්ථාවල අවශ්‍ය තරම් ෆ්ලෝරයිඩ් නොලැබීමෙන් ප‍්‍රධාන වශයෙන් දන්ත සෞඛ්‍යයට හානි පැමිණෙන අතර ඊට හොඳම පිළියම් ලෙස සැලකෙන්නේ ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේප භාවිතයයි.

ෆ්ලෝරයිඩ් ඌණතාවය නිසා විශාල වශයෙන් දත් දිරා යාමේ තර්ජනයට මුහුණ දී සිටින දරුවන් වෙනුවෙන් දන්තාලේපවලට අමතරව වාර්නිෂ්, ජෙලි හා මුඛ සෝදන දියර වර්ග ෆ්ලෝරයිඩ් අඩංගු කර නිපදවා ඇත.

ෆ්ලෝරයිඩ් අවශ්‍යතාවයේ හැටි:

එදිනෙදා ජීවිතයේදී සාමාන්‍යයෙන් අපේ දත්වල සිදු වන ක‍්‍රියාවලි දෙකකි.

1. දතෙන් ලවණ (කැල්සියම් හා පොස්පරස්) ඉවත් වීම.

2. නැවත දත් මත ලවණ තැන්පත් වීම.

අපේ දත්වල එනමලයෙන් හෝ දන්තීනයෙන් ලවණ ඉවත් වන්නේ මුඛය තුළින් වෑහෙන අම්ලවල ක‍්‍රියාකාරිත්වය නිසායි. මෙම අම්ල මුඛය තුළ සෑදෙන්නේ අප ගන්නා ආහාර පාන තුළිනුයි. අප ගන්නා ආහාර පාන තුළින් මුව තුළ අම්ල නිපදවන්නේ දත් හා විදුරුමස් දාරය මත තැන්පත් වන ‘‘දන්තපථය’’ නම් වූ දත් මැලියම් මත වැඩෙන බැක්ටීරියා මගින් සීනි ඇතුළු කාබෝහයිඩ්‍රේට් වර්ග ජීර්ණයට ලක් කිරීමෙනි.

සාමාන්‍යයෙන් ආහාර ගිලීමේ පහසුව ඇති කිරීම පිණිස මුඛය තුළ ‘‘ඛේට ග‍්‍රන්ථි’’ මගින් ඛේටය ස‍්‍රාවය කරයි. මෙම ඛේටය ප‍්‍රමාණවත් ලෙස ස‍්‍රාවය කරන්නේ නම් හා එම ඛේටයේ ප‍්‍රමාණවත් ලෙස කැල්සියම් හා පොස්පරස් අඩංගු වන්නේ නම් දත්වල ආරක්ෂාවට ප‍්‍රමාණවත් රැකවරණයක් ලැබේ. මෙහිදී දතේ එනමලය මත පහසුවෙන් ෆ්ලෝරයිඩ් තැන්පත් වේ.

මෙසේ ලවණ තැන්පත් වීමේ ක‍්‍රියාවලියට වඩා වේගයෙන් ලවණ ඉවත් වීමේ ක‍්‍රියාවලිය සිදු වුවහොත් දත් මත කුහර ඇති වීම සිදු වේ.

නිසි ලෙස ෆ්ලෝරයිඩ් ආරක්ෂාවක් ලැබේ නම් ෆ්ලෝරයිඩ් මගින් දන්ත එනමලය අම්ලවලට ප‍්‍රතිරෝධී කිරීමත් දත් මතුපිට ලවණ තැන්පත් වීම වේගවත් කිරීමත් දතෙන් ලවණ ඉවත් වීම අවම වීමත් සිදු වේ.

කුඩා දරුවකුගේ දත් දිරා යාම ආරම්භ වන්නේ සාමාන්‍යයෙන් වයස අවුරුදු 3 සිටය. වයස අවුරුදු 3 ට අඩු දරුවන්ගේ දත් දිරා යාම ආරම්භක අවස්ථාවේ දී ඇති වන දත් මත සුදු පැහැ පැල්ලම් ලෙස හඳුන්වන මුල්ම දත් දිරීම නැවැත්වීමට ෆ්ලෝරයිඩ් ආරක්ෂාවක් ලැබීම දන්ත සෞඛ්‍ය කෙරෙහි දැඩි බලපෑමක් සිදු කරයි.

සාමාන්‍යයෙන් ඕනෑම පුද්ගලයකුගේ දත් හා අස්ථී වර්ධනය වන මුල් අවස්ථාවේදී පානීය ජලය මගින් හා ආහාර පාන මගින් සිරුරට ලැබෙන ෆ්ලෝරයිඩ් අවශෝෂණය කර ගැනීමේ හැකියාවක් දන්ත අස්ථිවලට ඇත. දත් හා අස්ථි වර්ධනය වන අවධියේදී මෙලෙස උරා ගන්නා ෆ්ලෝරයිඩ් මෙන්ම දන්තාලේප මගින් ලැබෙන ෆ්ලෝරයිඩ් ද අපේ දත් හා අස්ථිවලට සුවිශේෂ ආරක්ෂාවක් ලබා දෙයි. ෆ්ලෝරයිඩ් කීප ආකාරයකින්ම දත් දිරා යාම වළකයි.

දත් මත ලවණ තැන්පත් වීම වේගවත් වීම

දත් ඛේටයන් තෙත්ව පවතින විට ඛේටයේ හා දන්තපථවල ඇති ෆ්ලෝරයිඩ් දත් දිරා යන ස්ථානයට අවශෝෂණය වේ. එවිට එම ෆ්ලෝරයිඩ් මගින් ඛේටයේ අඩංගු කැල්සියම් හා පොස්පරස් දත් මත තැන්පත් වීමට ආකර්ෂණය කරවයි. දිනපතාම මෙසේ ෆ්ලෝරයිඩ් අවශෝෂණය යහපත් ලෙස සිදු වන විට අවශ්‍ය තරමින් ෆ්ලෝරයිඩ් ඛේටයට එකතු වේ.

අම්ල ප‍්‍රතිරෝධී එනමලයක් සකස් වීම

මුඛයේ බැක්ටීරියා ක‍්‍රියාකාරීත්වය මගින් නිපදවෙන අම්ල මගින් දන්ත එනමලයේ ලවණ ඉවත් වූ පසු ෆ්ලෝරයිඩ් ක‍්‍රියාකාරී වී නැවත ලවණ තැන්පත් වීමෙන් වඩාත් ශක්තිමත් එනමලයක් සෑදේ. මෙම එනමලය පෙර තිබූ එනමලයටත් වඩා ප‍්‍රතිරෝධී ශක්තියකින් යුක්තය. පෙර තිබූ එනමලයේ තිබූ ‘‘කැල්සියම් ඇපටයිට්’’ වෙනුවට එහි තිබෙන්නේ ‘‘කැල්සියම් ෆ්ලෝරෝ ඇපටයිට්ය’’. එම තත්ත්වය අම්ල මගින් සිදුවන දියවීමට ඔරොත්තු දීමේ හැකියාවෙන් යුක්තය.

අම්ල නිපදවීමේ හැකියාව අඩු කිරීම

දන්ත පරිපථයේ නිසි පරිදි ෆ්ලෝරයිඩ් ක‍්‍රියාත්මක වනවිට දන්ත පථයේ වෙසෙන බැක්ටීරියාවලට සීනි ඇතුළු කාබෝහයිඩ්‍රේට් වර්ග දුර්වල කර අම්ල නිපදවීමේ හැකියාව අඩු වේ.

මෙයට හේතුව බැක්ටීරියාවල ක‍්‍රීයාකාරිත්වය මන්දගාමී කර බැක්ටිරියා වැඩීමට අවශ්‍ය සාධක අවම කර දන්ත එනමලයෙන් බැක්ටීරියා ඉවත් කිරීමට ෆ්ලෝරයිඩ්වලට ඇති මනා හැකියාවයි.

- The Dentist