2017 මාර්තු 11 වන සෙනසුරාදා

ඌරු උණ යළි හිස ඔසවයි

 2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 319

H1N1 ඉන්ෆ්ලුවන්සා රෝගය වැළඳුණු බවට සැක කෙරෙන රෝගීන් හාරසීයක් පමණ මේ වන විට උතුරු පළාතෙන් හමුවී ඇතැයි පළාතේ සෞඛ්‍ය අමාත්‍ය, වෛද්‍ය පී සත්‍යලිංගම් කියා තිබේ. ඒ අනුව වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙනි. එම රෝහලේ දැනට නේවාසික රෝගීන් සංඛ්‍යාව 244 කි. ඉන් 80 දෙනකු ගර්භනී මවුවරුන් බවත් උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා කියයි.

මෙම රෝගීන්ගේ රුධිර සාම්පල හා සෙම කොටස් කොළඹට එවා සිදුකළ වෛද්‍ය පරීක්ෂණවලදී නියත වශයෙන්ම 37 දෙනකුට H1N1 වෛරසය ශරීරගත වී ඇතැයි සනාථ වී තිබේ.

H1N1 ඉන්ෆ්ලුවන්සාව ගැන පැහැදිලි කරන වසංගත රෝග විද්‍යා අංශය එය පැතිර යාම වැළැක්වීමට අවශ්‍ය සියලු කටයුතු යොදා ඇති බව කියයි. මොකක්ද මේ H1N1 ඉන්ෆ්ලුවන්සාව, නැත්තම් සාමාන්‍යයෙන් කියන පරිදි ඌරු උණ. එයින් වළකින්නේ කොහොමද?

මෙම රෝගය බොහෝ දුරට සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා උණ හා සමාන වන අතර උණ, නාසයෙන් සොටු දියර ගැලීම, කිවිසුම් යාම, කැස්ස, උගුර ආසාදනය, හිසරදය හා මස්පිඬු හා හන්දි රුදාව මෙහි රෝග ලක්ෂණ වේ.

මෙකී රෝග ලක්ෂණ ඇති රෝගීන් H1N1 ඉන්ෆ්ලුවන්සා රෝගය සඳහා සැක සහිත රෝගීන් ලෙස සැලකෙන අතර ඔවුන් අතරින් දරුණු රෝග ලක්ෂණ හෝ රෝගී තත්ත්වය උත්සන්න වන ලක්ෂණ පෙන්වන රෝගීන් පමණක් රෝහල් (රජයේ හෝ පෞද්ගලික) වලට ඇතුළු කරගනු ලැබේ. මෙසේ ඇතුළු කරගන්නා ලද රෝගීන් පමණක් අවශ්‍ය පරිදි රෝගය ස්ථිර කිරීමේ රසායනාගාර පරීක්ෂණය සඳහා යොමු කරනු ලබන අතර නියමිත ප්‍රතිවෛරස් ඖෂධ ලබාදෙනු ඇත. බරපතළ නොවන උණ සෙම්ප්‍රතිශ්‍යා රෝග ලක්ෂණ පමණක් පෙන්වන රෝගීන් සඳහා සෙම්ප්‍රතිශ්‍යා උණ සඳහා නියමිත බාහිර රෝගී ප්‍රතිකාර ලබාදෙන අතර ඔවුන් පිළිපැදිය යුතු උපදෙස් නිවැරදිව ලබාදෙනු ලැබේ.

H1N1 ඉන්ෆ්ලුවන්සා රෝගීන් සඳහා උපදෙස් 

• ඔබට නියම කරන ලද ඖෂධයන්හි (උදා: උණ පාලනය කිරීම සඳහා පැරසිටමෝල්) නියමිත මාත්‍රා නිසි පරිදි භාවිත කරන්න.

• ඇඳ විවේකය ලබාගන්න.

• වැඩිපුර දියර වර්ග පානය කරන්න.

• පෝෂ්‍යදායී ආහාර ලබාගන්න.

• පවුලේ සාමාජිකයන් හට රෝගය පැතිරීම වැළැක්වීම සඳහා වෙන්ව සිටින්න. හැකිනම් මුඛ ආවරණයක් පළඳින්න.

• නිතර සබන් යොදා හොඳින් අත් සෝදන්න. විශේෂයෙන් කිවිසීමෙන් හා කැස්සෙන් පසු මෙසේ දෑත් සේදිය යුතුයි.
කහින හා කිවිසින අවස්ථාවලදී දෑත්වලින් මුඛය හා නාසය ආවරණය කිරීමෙන් වළකින්න. පිරිසුදු ලේන්සුවක් හෝ ටිෂූ කඩදාසි මේ සඳහා භාවිත කරන්න. එකී ටිෂූ කඩදාසි ආරක්ෂිතව බැහැර කරන්න. ලේන්සු තෙත් වූ වහාම සබන් දා සෝදාගන්න.

ඔබේ රෝග ලක්ෂණ අඩු නොවන්නේ නම් හෝ දරුණු වන්නේ නම් හෝ පහත දැක්වෙන අවදානම් රෝග ලක්ෂණ හටගනී නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවන්න.

අවදානම් රෝග ලක්ෂණ

• වැඩිහිටියන් සඳහා

• හුස්ම ගැනීමට අපහසු වීම.

• නොනවතින වමනය

• පපුවෙහි හෝ බඩේ වේදනාව හෝ තෙරපුම

• කරකැවිල්ල

• සිහිමඳ ගතිය හෝ සිහි මුර්ජා වීම

• රෝග ලක්ෂණ සුවවීමෙන් අනතුරුව නැවත උණ හෝ තද කැස්ස පැතිරීම.

දරුවන් සඳහා

• හුස්ම ගැනීම වේගවත් වීම හෝ අපහසු වීම

• සම නිල් හෝ අළු පැහැවීම

• දියර වර්ග පානය කිරීමට අපහසු වීම/ අඩුවීම

• පහකරන මුත්‍රා ප්‍රමාණයෙහි අඩුවක් දක්නට ලැබීම හෝ අඬන විට කඳුළු වැටීම අඩුවීම.

• නොනවතින වමනය

• ප්‍රතිචාර දැක්වීම අඩුවීම

• නොසන්සුන් ලෙස හැසිරීම

• රෝග ලක්ෂණ සුවවීමෙන් අනතුරුව නැවත උණ හා තද කැස්ස ඇතිවීම

අවදානම වැඩි අය

පහත දක්වන කණ්ඩායම්වලට අයත් H1N1 ඉන්ෆ්ලුවන්සා රෝගීන් මෙම රෝගයේ සංකූලතා කෙරෙහි වැඩි අවදානමක් දරන හෙයින් ඔවුන් තමන්ගේ රෝගී තත්ත්වය පිළිබඳ වඩාත් සැලකිය යුතුයි. රෝග ලක්ෂණ දරුණු වුවහොත් ඔවුන් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුයි.

• අවු: 2ට වඩා අඩු දරුවන්

• අවු: 65ට වඩා වැඩි වැඩිහිටියන්

• ගර්භනී මවුවරුන්

• පහත දැක්වෙන රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන්නන්

• ඇදුම ඇතුළු නිදන්ගත පෙනහළු රෝග සහිත රෝගීන්

• හෘද හා රුධිර වාහිනී රෝගයන්ගෙන් පෙළෙන රෝගීන් (අධික රුධිර පීඩනය ඇති රෝගීන් හැර) රුධිර සෛල සම්බන්ධ නිදන්ගත රෝගයන්ගෙන් පෙළෙන්නන්

• දියවැඩියා රෝගීන්

• ප්‍රතිශක්තිය හීනවූ රෝගීන් (H1N1 ඉන්ෆ්ලුවන්සා රෝගීන් ඇතුළුව)

• දීර්ඝකාලීන ලෙස ඇස්ප්‍රින් ලබාගන්නා අවුරුදු 19ට අඩු පුද්ගලයන්

♦ වසංගත විද්‍යා තොරතුරු

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00