2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

අවුල් නින්ද හෙළි කරන ලෙඩ

 2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 373

රාත්‍රී කාලයේ නින්ද අතරතුර පුරුද්දක් ලෙස නිතරම එකම වේලාවට අසාමාන්‍ය ලෙස අවදි වෙනවා නම් එය ලෙඩක් පිළිබඳ දැනුම් දීමක් බව දන්නවාද? එකම වේලාවට නිතර සිදුවන එය සාමාන්‍ය දෙයක් ලෙස සලකා අප විසින් එය අත් හැර දැමුවද එයට වෙනත් හේතුවක් තිබිය හැකියි. අවදි වන ‍වේලාව අනුව ශරීරයේ ලෙඩ රෝගවලට ලක්ව ඇති ස්ථාන ගැන හෝඬුවාවන් කිහිපයක් තමා මේ.

රාත්‍රී 9-11 – තයිරොයිඩ් රෝග හෝ ආතතිය:
නින්දේ පළමු අවදියේදී අන්තරාසර්ග පද්ධතිය යළි සමබරවීම සහ රුධිර නාලිකා විශාල ලෙස ක්‍රියාශීලි වීම සිදුවනවා. මේ නිසා ස්නායු පද්ධතිය, තයිරොයිඩ් රෝග, අධිවෘක්ක ග්‍රන්ථි හෝ පරිවෘත්තිය පද්ධතිය ආශ්‍රිත රෝගයක් ඇත්නම් මෙම කාලය අතර තුළ අවදිවීම සිදුවනවා. මෙම කාලය අතර තුළ නින්දට වැටීමට අපහසු වන තවත් එක කරැණක් ලෙස දිවා කාලයේදී ඇති වූ අධික ආතතිය හඳුන්වන්නට පුළුවන්. නින්දට ප්‍රථමයෙන් භාවනාවක් හෝ යෝගා ක්‍රමයක් සිදුකිරීම මගින් සිත සහ කය සංසුන් කර ගන්නට පුළුවන්.

රාත්‍රී 11-1 – පිත්තාශය
පිත්තාශය මගින් සිදුකරන්නේ අප ආහාරයට ගනු ලබන මේදය දිරවීම සඳහා පිත්ත යුෂ නිර්මාණය කිරීමයි. දිගටම සෑම දිනකම වගේ මෙම කාලය අතර තුළ අවදිවනවා නම් පිත්තාශයේ ගල් හටගෙන තිබෙන්නට පුළුවන්. මෙම කාලය තුළ අවදිවනවා නම් ඔබ සිදුකළ යුතු වන්නේ ආහාරයට ගනු ලබන මේදය අවම කර සෞඛ්‍යය සම්පන්න තෙල් වර්ග ආහාරයට ගැනීමයි. මානසික ලෙස කලකිරීම වැනි හේතු නිසාත් මෙම කාලය අතර තුළ අවදි වන නිසා නැවතත් නින්දට යාමට ඔබ සිදු කළ යුත්තේ අනුන්ට කරැණා සිතක් පහල කිරීමයි.

පාන්දර 1-3 – අක්මාව
මෙම කාලය අතර තුළ සිදුවන්නේ රුධිරයේ සහ පටකවල අඩංගු අනවශ්‍ය ද්‍රව්‍ය ශරීරය විසින් පිරිසිදු කර ගැනීමයි. මෙම කාලය තුළ අවදිවනවා නම් එයින් කියැවෙන්නේ අක්මාව තුළ විෂ සහිත සංඝටක බොහෝමයක් තැම්පත් වී ඇති බවයි. මෙම තත්ත්වය මගහැර ගැනීමට ඔබ සිදුකළ යුතු වන්නේ ඇල්කොහොල් සහ කැෆේන් පානය කිරීම සීමාකර පිරිසිදු ජලය නිසි පමණ පානය කිරීමයි.

පාන්දර 3-5 – පෙනහළු
මෙම කාලය අතර තුළ කැස්ස, කිවිසුම් පිටවීම සහ නාසය සිරවීම වැනි තත්වයන් ඇතිවෙමින් අවදිවීමට සිදුවන්නේ සෙම තරලයන් වැඩිවීම සහ සෞඛ්‍යය සම්පන්න නොවන ආහාර රටාවන් අනුගමනය කිරීමයි.

පාන්දර 5-7 – මහා අන්ත්‍රය
ශරීරයේ අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා ශක්තිය සැපයෙන්නේ මෙම කාලය අතර තුළදීය. මේ සිදුවීම අතර මහා අන්ත්‍රය තුළ අසමතුලිතතාවයක් ඇතිවනවා නම් නින්දෙන් අවදිවනවාට අමතරව මළබද්ධය, ශරීරයේ බර වැඩිවීම සහ අකලට වියපත්වීම වැනි දෑ සිදුවනවා.

මෙම තත්ත්වය මගහැර ගැනීම සඳහා ඔබ සිදුකළ යුතු වන්නේ මාංශ පේශී ඇදීමට ව්‍යායාම සිදු කිරීම, වැඩිපුර ජලය පානය කිරීම සහ අවදි වූ පසුව මළපහ කිරීම වැනි දෑ සිදු කිරීමයි.

-  සුගත්