2019 අගෝස්තු 10 වන සෙනසුරාදා

කාන්තාවන්ට අධිකව වේදනා ගෙන දෙන එන්ඩොමෙට්‍රියෝසිස්

 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 2350

 

මාසික ආර්තවය සිදුවන දිනවලදී සමහර කාන්තාවන් අතර ඉතා අධික යටි බඩේ කැක්කුමක් ඇතිවන අවස්ථා ගැන පැමිණිලි අසන්නට ලැබේ. ඒ ආකාරයෙන් දිගින් දිගට එන කැක්කුම රෝග ලක්ෂණයකි. එය ඇතැම්විට මඳසරු භාවයට හෙවක් දරු උපත් පවා අහිමි කරන අවාසනාවන්ත තත්ත්වයට ද හේතුවන “එන්ඩොමෙට්‍රියෝසිස්”- Endometriosis නමැති රෝගය නිසා හටගන්නක් ද විය හැකියි.

මොකක්ද මේ “එන්ඩොමෙට්‍රියෝසිස්”?

එන්ඩොමෙට්‍රියෝසිස් - තවමත් සම්පූර්ණයෙන් හරිහැටි පැහැදිළි කරගෙන නැති රෝගී තත්ත්වයකි. මෙහි ලාක්ෂණික ස්වභාවය නම්, ගර්භාශයේ ඇතුළතම බිත්තියේ ඇති සෛල වෙනත් ස්ථානවල දක්නට ලැබීමයි. මෙම අසාමාන්‍ය තැන්වල ඇති සෛල තැන්පතු නිසා ඇතිවන ප්‍රදාහ තත්ත්වය, දැඩි වේදනාවක් ජනිත කරවයි.

සරලව ගත් කල රෝගයේ ස්වභාවය මෙසේ පැහැදිලි කළ හැකියි. හෝමෝනවල බලපෑම නිසා ගර්භාෂ ඇතුළු බිත්තියේ (එන්ඩොමෙට්‍රියම්) ඔසප් වීමේදී ඇතිවන වෙනස්කම්, (මෙම රෝගීන්ගේ අසාමාන්‍ය ලෙස පිහිටි) ගර්භාෂයට පිටතින් ඇති "එන්ඩොමෙට්‍රියම්" පටකවල ද සිදු වේ. එහි ප්‍රතිඵලයක් ලෙස එම ස්ථානවල ලේ ගැලීම්, වේදනාව ඇති වීම, පටක එකිනෙකට ඇලීම හා කල්යත්ම එම රුධිරය සහ ස්‍රාව එකතු වී "චොකලට් සිස්ට්" නමැති ගෙඩි ඇතිවීම ද සිදු වේ. මෙම ක්‍රියාවලිය තුළදී නිකුත් වෙන රසායනික නිසා ද වේදනාව තවදුරටත් උග්‍ර වේ.

වේදනාවට අමතරව මඳසරු භාවය වැනි ප්‍රශ්න ද ඉහත කියූ පරිදි මෙම රෝගය සමඟ ඇතිවිය හැකියි.

රෝගය ඇතිවීමට හේතුව කුමක්ද?

ආර්ථවයේදී පිටතට යායුතු අපිරිසුදු රුධිරය උදර කුහරය තුළට නැවත ගලා ඒම මෙයට හේතුවයැයි, දැනට එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය ඇතිවීම පිළිබඳ ඇති වඩාත්ම පිළිගත් මතය මගින් විස්තර කරයි. නමුත් බොහෝ කාන්තාවන් අතර ඉහත පරිදි රුධිරය ගලා යාමේ තත්ත්වය පෙන්නුම් කළත් එම සියල්ලන්ටම එන්ඩොමෙට්‍රියෝසිස් රෝග ලක්ෂණ දක්නට නොමැත්තේ ඇයි දැයි යන්න තවම පර්යේෂණයන්ට බඳුන් වන කරුණකි.

කොයිතරම් බහුලද?

එන්ඩොමෙට්‍රියෝසිස් බහුලව වාර්තා වන මෙන්ම බහුලතාවය දැනට වැඩිවෙමින් පවතින රෝගයකි. පරම්පරාගතව යන බහුලතාවයක් දක්වන මෙම රෝගය, දරුවන් ලැබිය හැකි වයසේ පසුවන ගැහැණුන් අතර 6-10෴ ප්‍රමාණයකටත්, මඳසරු හා දිගුකාලීන වේදනාවෙන් පෙළෙන අය අතරින් 25-50෴ කට පමණත් ඇත.

රෝග ලක්ෂණ

ඉහත කිව් පරිදි ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ වේදනාව හා මඳසරු භාවයයි.

වේදනාව, ප්‍රධාන ලෙසම ඔසප් වීමේදී රුධිරය ගැලීමට ප්‍රථම ආරම්භ වී, රුධිරය ගැලීම අවසාන වූ පසුව ද පැවතී අඩුවී යයි. නමුත් බොහෝ තරුණියන්ට ඇති පරිදි ඔසප් වීමේදී රුධිරය ගැලීම ආරම්භ වීම සමඟ ඇතිවන තද කරනවාක් වැනි වේදනාව සාමාන්‍ය තත්ත්වයක් බව සිතට ගත යුතුය.

සහකරු සමඟ ලිංගිකව එක්වීමේදී ඇතිවන වේදනාව, කල් පවතින උදර/ ශ්‍රෝණි හෝ කොන්දේ වේදනාව ද මෙම රෝගයේ ලක්ෂණයකි. පෙර නොතිබූ ඔසප් වේදනාවක් පසුව ඇතිවීම එන්ඩොමෙට්‍රියෝසිස් තත්වයදැයි සැක කළ යුතු තවත් අවස්ථාවකි.

එන්ඩොමෙට්‍රියම් කොටස් තැන්පත් වීමම ද, ඉන් ඇතිවන රසායනික, උදර අහ්‍යන්තරයේ සිදු වන අහිතකර වෙනස්කම් මෙන්ම ලිංගික කාර්යයට සිදුවන අපහසුතා නිසා මෙම රෝගයේදී මඳසරු බව ඇති වේ යයි පිළිගැනේ.

එන්ඩොමෙට්‍රියොසිස් පිළිකා තත්ත්වයක්ද?

එන්ඩොමෙට්‍රියෝසිස් රෝගය පිළිකා තත්ත්වයක් නොවේ. නමුත් ඉතා දීර්ඝ කාලයක් පවතින එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය පිළිකාකාරක විය හැකි බව සමහර පර්යේෂණ පෙන්වයි.

රෝග විනිශ්චය කිරීම

එන්ඩොමෙට්‍රියොසිස් රෝග විනිශ්චය කිරීමේදී යෝනි මාර්ගය හෝ උදර කුහරය හරහා කරන අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් භාවිතා කළ හැකිය. මෙහිදී ඉහත විස්තර කර ඇති චොක්ලට් සිස්ට්, ඩිම්බකෝෂවල චලනය අඩුවීම ආදිය එන්ඩොමෙට්‍රියොසිස් රෝගය ප්‍රබලව සැක කළ හැකි හේතූන් වන අතර, රෝග විනිශ්චය කිරීමේ හොඳම ක්‍රමය නම්, ලැපරොස්කොපි පරීක්ෂාවක් මගින් උදර කුහරය කැමරාවක් යොදා පරීක්ෂා කිරීමයි.

ප්‍රතිකාර විධි

මෙහිදී ඖෂධ මගින් හෝ සැත්කම් මගින් ප්‍රතිකාර කිරීම සිදු කෙරේ.

ඖෂධ වශයෙන් ගත් කල හෝමෝනමය පවුල් සැලසුම් පෙති, ඩිපෝ ප්‍රොවේරා එන්නත්, හෝමෝන නිකුත් කරන ගර්භාශයික ලූප මෙන්ම තවත් නව ඖෂධ වර්ග භාවිත වේ.

ගැබ් ගැනීම නිසා ඔසප් වීම නැවතීමෙන් එන්ඩොමෙට්‍රියොසිස් තත්ත්වය සමනය වේ. නමුත් රෝගයේ එක් ස්වභාවයක් වන්නේ ගැබ් ගැනීම සිදු නොවීමයි. තවද ඉහත සඳහන් කළ ඖෂධ නිසා ද පිළිසිඳ ගැනීම් නවතී. මෙම නිසා මඳසරු කාන්තාවන් සඳහා සැත්කම් කරා යාම වඩා උචිත වේ.

3cmට වැඩි ප්‍රමාණයේ චොක්ලට් සිස්ට්, ලිංගිකව එක්වීමේදී ඇතිවන අධික වේදනාව හා නැවත නැවත ඖෂධ මගින් පමණක් රෝගය පාලනය නොවීම යන හේතු ද සැත්කමක් කරා යාමට සැළකිය යුතු අවස්ථා වේ.

රෝගයට භාවිතා කරන සැත්කම් විධි සැලකූ කල, එන්ඩොමෙට්‍රියොසිස් තැන්පතු පුළුස්සා ඉවත් කිරීම බහුලවම කෙරේ. එමඟින් මඳ සරුභාවය අඩු වන බව සොයාගෙන ඇත. උග්‍ර රෝග අවස්ථාවකදී, අත්දැකීම් බහුල ශල්‍ය වෛද්‍යවරයකුගේ සහාය අවශ්‍ය වන්නට හැකිය.

- Woman health