2019 ජුලි 06 වන සෙනසුරාදා

දවල් කුකුළු නින්දෙන් මොළයට ප්‍රතිලාභ රුසක්!

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 427

අපි ඉස්සර ඉඳන්ම අසා ඇත්තේ දවල් නිදාගන්න හොඳ නෑ කියලයි. මේ කතාවේ ඇත්තක් නැතිවාම නොවේ. ඒ දිවා කාලයේ දී වඩාත් දිගු නින්දක් ලැබීමෙන් මොළයට කිසිදු ප්‍රතිලාභයක් නොලැබෙන නිසයි. නමුත් විනාඩි කිහිපයක පමණ කෙටි නින්දක් ලැබීම මානසික හා කායික වශයෙන් මනා ප්‍රබෝධවත් බවක් නැවුම් බවක් ඇති කිරීමට හේතුවන බව දැන් විද්‍යාත්මකව ඔප්පු වූ කරුණකි.

නින්ද පිළිබඳව පර්යේෂණ සිදුකරන විශේෂඥයන් පවසන්නේ විනාඩි 10 – 20ත් අතර කාලයක කෙටි නින්දක් ලබාගැනීම මගින් ශරීරයට මිල කළ නොහැකි වාසි අත්වන බවයි. උදාහරණයක් ලෙස එමගින් ඔබේ සුපරීක්ෂාකාරී බව වැඩි වෙනවා. විනාඩි 10 – 20ත් අතර කාලයක කෙටි නින්දක් ලබාගෙන අවදි වීමෙන් නැවුම් උද්‍යෝගිමත් ආවේගයකින් යුතුව කාර්යයන් සිදුකළ හැකි බව විශේෂඥයන් පවසනවා.

විනාඩි 60ක පමණ කෙටි නින්දකින් මතක ශක්තිය යළි පිබිදෙන බව වෛද්‍යවරු  පවසනවා. මෙවන් නින්දකින් ඔබට ඔබේ මතකයේ ගැඹුරේ තිබෙන විවිධ කරුණු, විවිධ ස්ථාන සහ මිනිසුන්ගේ මුහුණුවර නැවතත් මතකයට ලබාගන්නට පුළුවන්ලු. නව විද්‍යාත්මක පර්යේෂණ සඟරාවක පළ වූ කෙටි නින්ද පිළිබඳව කළ අධ්‍යයන වාර්තාවකට අනුව දිවා කාලය තුළ විනාඩි 5 - 10ත් අතර කාලයක කෙටි නින්දක් ලබාගන්නා පුද්ගලයන්ට එවන් නින්දක් ලබා නොගන්නා පුද්ගලයන්ට වඩා වැඩි පරීක්ෂාකාරී බවක් සහ ඥානයක් වර්ධනය වන බව සඳහන් වෙනවා. ඒ වගේම, විනාඩි 10 – 20ත් අතර කෙටි නින්ද මගින් ශරීරය නැවත ප්‍රාණවත් වන අතර විනාඩි 60 – 90ත් අතර තරමක් දිගු නින්දකින් සම්පූර්ණ වශයෙන්ම ශරීරය පුබුදුවාලීම සිදුකරගන්නට පුළුවන්. අවදි වීමෙන් පසුව නිර්මාණාත්මක, මනෝභාවාත්මක මතක ශක්තියක් වර්ධනය වී නිර්මාණාත්මක ක්‍රියාවන්වල විනාඩි 90ක කෙටි නින්දක් දිගු වෙලාවක සම්පූර්ණ නිදි  චක්‍රයකට සමාන වෙනවා. මෙවන් නින්දක් ලබා නිරත වන්නට හැකිවන බව වෛද්‍යවරු පවසනවා.

ඔබ මේ කෙටි නින්ද ලබාගැනීමේදී බෙල්ල සුව පහසු ආකාරයකට තබාගෙන යම්කිසි ආසනයක වාඩිවී කෙටි නින්ද ලබාගන්න. එයින් ඔබට දිගු නින්දක් ලැබීම වළක්වනවා. ඒ, දිවා කාලයේ දී වඩාත් දිගු නින්දක් ලැබීමෙන් මොළයට කිසිදු ප්‍රතිලාභයක් නොලැබෙන නිසයි. ජපානයේ විවිධ ආයතනවල සේවකයන්ගේ ඵලදායීතාවය වර්ධනය කරගන්නට දිවා සේවා කාලය තුළ කෙටි නින්දක් ලබාගැනීමට අවසර දී ඇත්තේ මේ නිසාලු.

  • Web MD
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00