2019 මැයි 25 වන සෙනසුරාදා

හුස්ම පොදටත් විනකටින මාරක!

 2019 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 805

හුස්ම ගැනීමේක්‍රියාවලිය අපට නොදැනීම ක්‍රියාත්මකවෙන අපේ ජිවිතය රැකගෙන ක්‍රියාශීලිව පවත්වාගන යන වැදගත්ම ජෛව ක්‍රියාවලියයි. මෙය සිදුවෙන්නෙ අපේ ශ්වසන මාර්ගය ආධාරයෙනුයි.

මේ ශ්වසන මාර්ගය ආක්‍රමණය කරන විවිධ ආසාදන ගනනාවක්ම දැකිමට හැකියි. මේ ආසාදන ශ්වසන මාර්ගයේ ඉහළ කොටසේ ආසාදන සහ පහළ වායු මග ඇති වන ආසාදන හැටියට කොටස් දෙකකට බෙදන්නට හැකියි.

මෙයින් පහළ වායු මග හැටියට දැක්වෙන ස්වරාලයේ සිට පෙනහළුවල ගර්ත දක්වා වායු මාර්ගයේ ඇති වන ආසාදන බැක්ටීරියා වෛරස් හෝ දිලීරවලින් ඇති වෙන්න පුළුවන්. ඒවා ඉහත කිව්වා වගේ ඉහළ වායු මගෙහි ඇති වෙලා පසුව පහළ වායු මගට ආසාදනය පැතිරි යන්න පුළුවන්. ඒ අන්දමට පහළ වායු මග ආශ්‍රිතව හටගන්නා ප්‍රධාන මට්ටමේ සුලබ  ආසාදන කිහිපයක් ගැනයි මේ.

• බ්‍රොන්කයිටිස් - Bronchitis -  ශ්වසන නාලවල ආසාදනය

• නියුමෝනියා - Pneumonia - පෙනහළුවල ආසාදනය

• ක්ෂයරෝගය -   Tuberculosis -  ක්ෂයරෝග කාරක බැක්ටීරියාවෙන් වන ආසාදනය

පහළ වායු මග ආසාදිත පුද්ගලයෙකු සතු  රෝග ලක්ෂණ :

• කැස්ස• අධික සෙම• පපුවේ තද ගතිය සහ හුස්ම ගැනීමේ අපහසුතා

• තද උණ• හුස්ම ගනිද්දී පපුවේ ඇති වන wheezing වීසින් ශබ්දය.

• ආහාර අරුචිය

මේවා පොදු රෝග ලක්ෂණයි.

 

♦ නියුමෝනියාව

මෙය වඩා වැඩියෙන් දක්නට ලැබෙන්නේ කුඩා දරුවන් අතර සහ ඉතා වැඩිහිටි අය අතරයි. ඒත් යොවුන් වියේ පසු වන අයට වුණත් මෙම රෝගය වැළඳීමට ඉඩ තියෙනවා.

මෙය බෝ වන  ආකාරය අනුව වර්ග දෙකකි÷

සමාජයෙන් බෝ වන - සමාජයේ දී හමුවන ආසාදිතයෙකුගෙන් බෝ වීම.

රෝහලෙන් බෝ වන - කලක් රෝහල් ගතව සිටින විට රෝහලේ දී බෝ වීම.

රෝග ලක්ෂණ

කැස්ස සෙමඋණ.

සෙම, රුධිරය මිශ්‍ර කහ පැහැති හෝ සුදු පැහැති වෙන්න පුළුවන්. මද රෝගී තත්ත්වයන්ට නිවසේදී ප්‍රතිකාර කරන්න පුළුවන්. ප්‍රතිකාර වශයෙන් ප්‍රතිජීවක ඖෂධ සහ දියර වර්ග වැඩිපුර  පානය කිරීම වගේම හොඳින් විවේක ගැනීම අනිවාර්යය වෙනවා.

නිරෝගී යොවුන් වියේ පසු වන අයට මෙම රෝගය වැළඳුණොත් මෙම ප්‍රතිකාරවලින් රෝගය සුව වෙනවා. එහෙත් වැඩිහිටි හෝ වෙනත් රෝගී තත්ත්ව ඇති අයට රෝහල් ගත වීමට සිදු වෙනවා. මෙසේ සිදුවන්නේ ඔවුන්ට සංකූලතා ඇති වෙන්න පුළුවන් නිසයි.

ඇති විය හැකි සංකූලතා

ශ්වසනයේ අපහසුතා ඇති වී ගර්තවල දියර පිරීම නිසා වායු හුවමාරුවට බාධා ඇති වීමක් මෙයින් සිදු වෙනවා.

පෙනහළුවල විසර ගෙඩි ඇති වීම.

ලේ විෂ වීම.

මෙම රෝගය ඇති කරන සමහර විෂබීජ සඳහා එන්නත් ඇති අතර ප්‍රතිශක්තිය දුර්වල අය සඳහා එය භාවිතා කරයි.

 

♦ ක්ෂය රෝගය

මෙය වැළඳෙන්නේ මයික්‍රොබැක්ටීරියම් ටියුබකියුලෝසිස් නමැති බැක්ටීරියාවෙනි. මෙම බැක්ටීරියාව වෛද්‍ය රොබට් කොක් විසින් 1882 මාර්තු 24 දින සොයා ගත්තේය. අපි සෑම වසරකම මාර්තු 24 ලෝක ක්ෂය රෝග දිනය සමරන්නෙ ඒ නිසයි.

ක්ෂය රෝගය නිසා වසරකට මිලියන 2ක ජනතාව මිය යනවා. ඒ කියන්නේ දිනකට 5000ක්. මේක සංවර්ධනය වන රටවල තරුණ අය අතර ඔවුන්ගේ ජීවිතයේ ඵලදායී සමයේ සාමාන්‍යයෙන් දක්නට ලැබෙනවා. සමහර රෝග අඩු ප්‍රතිශක්තියක් තියෙන දුප්පත්, මන්දපෝෂණයෙන් පෙළෙන අයට ඉක්මනින් බෝ වෙන්න පුළුවන්.

පහත දැක්වෙන රෝග ඇති අයට ක්ෂය රෝගය බෝවීමේ අවදානම වැඩියි.

• දියවැඩියාව  • වකුගඩු රෝග • පෙනහළුවල කල් පවතින රෝග  • ප්‍රතිශක්තිය හීනවීම

• මත්පැන් දුම්වැටිවලට ඇබ්බැහි වීම • නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිත කිරීම

ක්ෂය රෝගය හැදෙන්නෙ කොහොමද?

ක්ෂය රෝගය බෝ වන්නේ වාතය නිසයි.

ක්ෂය රෝග විෂබීජ ශරීරගතව ඇති අයෙකු කහිනකොට, කිවිසුම් අරිනකොට, සිනාසෙන කොට, පෙනහළුවල ඇති විෂබීජ වාතයට එක් වෙනවා. ඒවා ආශ්වාස කළොත් ඔයාටත් මෙම රෝගය බෝ වෙන්න පුළුවන්. ගැලපෙන බෙහෙත් ගත්තෙ නැත්නම් මරණයට වුණත් පත් වෙන්න ඉඩ තියෙනවා.

මේ අවස්ථාවලදී ක්ෂය රෝගය බෝ වන්නෙ නැහැ.

රෝගියෙකු බීමට පාවිච්චි කළ බඳුන් හෝ ආහාර ගැනීමට පාවිච්චි කළ පිඟන් ආදිය තවත් කෙනෙකු පාවිච්චි කිරීමෙන්

රෝගියෙකුට අතට අත දීමෙන්

එකම ටොයිලට්, කොමෝඩය පාවිච්චි කිරීමෙන්

රෝගියෙකු පාවිච්චි කළ ඇඳ ඇතිරිලි අත පත ගෑමෙන් පාවිච්චි කිරීමෙන්

ක්ෂය රෝගය සිරුරට බලපාන අන්දම ÷

මූලිකවම පහත අවයව ආසාදනය වේ

• පෙනහළු හා වසා ගැටිති • පෙනහළුවල පිට සිවිය

• මොළය හා ස්නායු පද්ධතිය • වකුගඩු • කොඳු නාරටිය

• විෂබීජ ආශ්වාස කළ විට අප සිරැරේ ඇති ප්‍රතිශක්ති පද්ධතිය ඒවා පෙනහළුවලට සීමා කිරීමට උත්සාහ කළද යම් බැක්ටීරියා ප්‍රමාණයක් රුධිරය දිගේ හෝ වසා නාල දිගේ අනෙක් අවයවවලට පැතිරීමට ඉඩ තියෙනවා.

පෙනහළුවල ඇතිවන ක්ෂය රෝගයේ රෝග ලක්ෂණ ÷

• සති දෙකකට වඩා පවතින කැස්ස • බර අඩුවීම

• මහන්සි ගතිය • සීතල සමඟ ඇතිවෙන උණ

• කැස්ස සමඟ ලේ පිටවීම • ආහාර අරුචිය

• රාත්‍රියට දහඩිය දැමීම

රෝගය අනෙක් අවයවවලට පැතිරුණහොත් එයට අදාළ රෝග ලක්ෂණ ඇතිවෙනවා.

රෝගය ඇති බව හඳුනාගන්නේ කොහොමද?

1  රසායනාගාර පරීක්ෂාවෙන් බැක්ටීරියාව හඳුනාගැනීම Microbiological Diagnosis

2  සෙම පටල පරීක්ෂාවෙන් Sputum Smear Examination සෙම පටල සාම්පල් 3ක් වර්ණ ගන්වා

 අන්වීක්ෂයෙන් පරීක්ෂා කොට බැක්ටීරියාව හඳුනාගන්නවා

3 (Sputum culture) සමහර විට මෙය විද්‍යා පන්තිවල ඉගෙනගෙන තියෙන්න පුළුවන්. සෙම අදාළ මාධ්‍යයක දමා එහි ඇති බැක්ටීරියා වැඩෙන්නට සැලැස්වීම මෙහි දී සිදු කරනවා. ඉතා කුඩා ප්‍රමාණයක් බැක්ටීරියා ඇති අවස්ථාවලදී මෙම පරීක්ෂාව ඉතා වැදගත් වෙනවා.

4 ජාන තාක්ෂණය භාවිත කිරීමෙන් Genetic Testing

5 එක්ස් රේ පරීක්ෂාවෙන් Chest Imaging

6 සී.ටී ස්කෑන් පරීක්ෂාවෙන් CT Scans

7 මාන්ටු පරීක්ෂාවෙන් MantouxTest.

මෙහිදී ප්‍රෝටීන් වර්ගයක් අතට එන්නත් කොට පැය 72කදී ඇති වූ ප්‍රතික්‍රියාව මැන බලනවා. මි.මි.10ට වැඩි නම් පොසිටිව් ලෙස සලකයි.

පොසිටිව් නම්

පසුගිය ආසාදනයක් සැඟ වී ඇති බව

ආසාදනය වී සුව වී ඇති බව

BCG (Bacillus of Calmett and Guireine එන්නත ලබා ඇති බව දැනගන්නවා.

ක්ෂය රෝගයට ප්‍රතිකාර ÷

දීර්ඝ කාලයක් - මාස 6-8 දක්වා - බෙහෙත් ගන්න වෙනවා.

මේ සඳහා ඖෂධ වර්ග කිහිපයක් එක විට භාවිත කරනු ලබනවා.

ප්‍රතිකාර අතරමග නතර කරමින් අපිළිවෙලට ගතහොත් බැක්ටීරියාව ඖෂධවලට ප්‍රතිරෝධයක් ඇතිකර ගන්නා නිසා එය ඉතා භයානක තත්ත්වයක් ඇති කරනවා. එවිට එම ඖෂධ තවදුරටත් ප්‍රතිකාර සඳහා යොදාගන්න බැරි වෙනවා. ඒ නිසා නිසි ඖෂධ මාත්‍රා නිසි කාලසීමාව පුරා නොකඩවා ගැනීම අතිශයින්ම වැදගත් වෙනවා. රෝගයෙන් සම්පූර්ණ සුවය ලැබෙන්නේ එහෙම වුණාමයි.

මේ සඳහා - DOT - නමැති ක්‍රමවේදය යොදා ගන්නවා. එනම් රෝගියා සෑම දිනකම තවත් කෙනෙක් ඉදිරියේ බෙහෙත් ලබාගැනීමයි. මෙහිදී ඔහු හෝ ඇය නිසි පරිදි බෙහෙත් ගන්නවාද කියලා තවත් කෙනෙකු සොයා බැලීම ඉතා වැදගත්.

 

♦ ලැරින්ජයිටිස් - ස්වරාලය ආසාදන Laryngitis

ශ්වාස නාල ආරම්භ වන තැන පිහිටා ඇති ස්වරාලයේ ඇති ස්වර තන්තු ආසාදනය මේ නමින් හැඳින්වෙනවා. අප කතා කරන ශබ්දය නිපදවන ස්ථානය මෙය බැවින් මෙහිදී ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ කටහඬ වෙනස් වී බැරැන්ඩි වීමයි.

 ෆැරින්ජයිටිස්  - PHARYNGITIS - (Sore Throat) උගුර ආසාදනය

රෝග ලක්ෂණ ÷

• උගුර රිදීම, ගිලීමට අපහසු වීම • බෙල්ල ආශ්‍රිත වසා ගැටිති ඉදිමීම • සෙම් ගෙඩි සෑදීම

• කන් කැක්කුම සහ බෙල්ලේ වේදනාව • උණ

නමුත් මේ උගුරේ ආසාදනය සෙම්ප්‍රතිශ්‍යාවකින් හෝ ඉන්ෆ්ලුවන්සාවකින් පසු ඇති වූවක් නම් එහි රෝග ලක්ෂණ වන්නේ,

• කැස්ස • උණ • ආහාර අරැචිය • මහන්සිය • හිසරදය • නාසයෙන් සොටු දියර ගැලීම සහ • මාංශ පේශිවල වේදනාවයි.

-lungshealth

 

 

 

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00