2019 මැයි 11 වන සෙනසුරාදා

ප්‍රෝටීන් අඩුනම් දැනගන්නේ මෙහෙමයි!

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 667

අපේ සිරුරේ නිසි ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය ඇමයිනෝ අම්ල 20න් 11ක්ම නිෂ්පාදනය කර ගන්නේ මිනිස් සිරුර තුළමය. ඉතිරි 09 ම ලබාගත යුත්තේ බාහිරින් ආහාර ලෙසයි. ඔබේ සිරුරට අවශ්‍ය නිසි ප්‍රෝටීන් ප්‍රමාණය ඔබ ලබා නොගන්නේ නම් සෞඛ්‍යයට ගැටලු ඇති වෙන්නට හැකිය. එලෙස ඔබේ සිරුරේ ප්‍රෝටීන් අඩු නම් මෙන්න මේ ලක්ෂණ දැකගන්න පුළුවන් වේවි. ඔබටත් මෙවැනි ලක්ෂණ ඇත්නම් සමහරවිට ප්‍රෝටීන් හිඟ නිසා වෙන්න පුළුවන්. එවිට වෛද්‍ය උපදෙස් ලබාගැනීම අවශ්‍යයි.

නිතර දැනෙන කුසගින්න

සමහරවිට ඔබට නිතර කුසගිනි දැනෙන්නේ ප්‍රෝටීන් හිඟතාවක් නිසා වෙන්න පුළුවන්. එවිට ඔබ කරන්නේ නිතර නිතර කෑම ගන්න එක. ඒ නිසා ඔබේ ශරීරය මහත් වී වෙනත් ගැටලු ඇතිවෙන්නත් පුළුවන්.

නිතර ඇතිවෙන මස්පිඬු වේදනාව

ඔබේ සිරුරේ නිතර අධික මස්පිඬු වේදනාවක් දැනෙනවා නම් එය ප්‍රෝටීන් අඩුකමේ ලක්ෂණයක් විය හැකියි. එසේ වන්නේ ප්‍රෝටීන් හිඟ නිසා මස්පිඬු අධික ලෙස වෙහෙසට පත්වීම හේතුවෙන්.

තුවාල සුව වීමට කල් ගත වීම

සිරුරේ නව සෛල ඇතිවීමට හා සම නැවත නිර්මාණය වීමට ප්‍රෝටීන් වැදගත් සාධකයක්. ඉතින් සිරුරේ ප්‍රෝටීන් හිඟ වුණාම තුවාල සුවවෙන්න කල්ගත වෙනවා.

හිසකෙස් සහ නියපොතු කැඩීයාම හා සම කොරල ස්වභාවයක් ගැනීම

ඔබේ සිරුරේ ප්‍රෝටීන් ප්‍රමාණය අඩුබව දැකිය හැකි ලක්ෂණ තමයි නිතර හිසකෙස් කැඩීයාම, නියපොතු කැඩෙන සුළුවීම වගේම ඔබේ සමේ කොරල ගතිය වැඩිවීම.

සිරුරේ දියරමය ස්වභාවය වැඩිවීම

එය දැනෙන්නේ ඔබේ පාදයේ වළලුකර ප්‍රදේශයටයි. වළලුකර, පාදය නිතර වේදනා ගෙනදෙනවා නම් එයට හේතුව ප්‍රෝටීන් ඌනතාව වෙන්න පුළුවන්.

නිතර නිතර අසනීප වීම

ශරීරයේ ප්‍රතිශක්තීකරණ පද්ධතියට ප්‍රෝටීන් අත්‍යවශ්‍ය සාධකයක්. ප්‍රෝටීන් හිඟ වූ සැණින් ඔබේ ප්‍රතිශක්තියට එය බලපානවා. එවිට වෛරස්, බැක්ටීරියා ආසාදන නිතර ඇතිවෙන්න පුළුවන්.

මානසික ඒකාග්‍රතාව බිඳ වැටීම

නිතර ඔබේ මානසික ඒකාග්‍රතාව බිඳ වැටෙනවා නම්, මානසික අසහනය ඇති වෙනවා නම් එය ප්‍රෝටීන් ඌනතාවයේ ලක්ෂණයක් විය හැකියි.

ඔබේ මේ සියලු ගැටලුවලට විසඳුම් ලෙස නිසි සමබර පෝෂණයක් ලබාගත යුතුය. ඔබේ සිරුරේ බරෙන් රාත්තලකට ග්‍රෑම් 0.36 ක ප්‍රමාණයක් වන ලෙස  දිනකට ප්‍රෝටීන් ලබාගත යුතුය. එනම් ඔබ රාත්තල් 150ක් පමණ බර නම් දිනකට ප්‍රෝටීන් ග්‍රෑම් 55ක් පමණ අවශ්‍ය වෙනවා.

බිත්තර, මස්, පළතුරු, එළවලු, ඕට්ස්, සෝයා සහ කිරි වර්ග තුළ ප්‍රෝටීන් අන්තර්ගතයි. ඒ වගේම අතිරේක ආහාරද ලබාගන්න පුළුවන්. හැබැයි මේ අතිරේක ආහාර වෛද්‍ය උපදෙස් අනුව ලබාගැනීම වඩාත් සුදුසුයි.

-Web MD