2019 මාර්තු 09 වන සෙනසුරාදා

60 පැන්නාම එන එපාම කරපු ලෙඩේ!

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 1494

මිනිසාට වැළඳෙන විවිධ වර්ගයේ පිළිකා අතරින් අද අපි කරුණු දැක්වීමට සුදානම් වන්නේ කවුරුත් වැඩිය කතා කරන්නට අකමැති ගුද පිළිකාව පිළිබඳවයි.

ආහාර ජීර්ණ පද්ධතියේ අවසාන කොටස වන ගුද මාර්ගය අප ලබාගන්නා ආහාරවල අපතේ යන ඉතිරිවන කොටස් මළපහ ලෙස ශරීරයෙන් ඉවත් කර දැමීම සිදු කරනවා. බඩවැල් අවසාන වී හමුවන ගුදය අඟලකින් හෝ අඟල් එකහමාරක දිගකින් යුක්ත වන අතර ගුදය තුළ ඇතිවන පිළිකාමය තත්ත්වය ගුද පිළිකාව ලෙස හඳුන්වනවා. ගුදයේ අභ්‍යන්තර බිත්ති මත පිහිටන “mucosa” යන නමින් හඳුන්වන සෛල වලටයි මෙම පිළිකා තත්ත්වය ප්‍රථමයෙන් ඇති වන්නේ. ගුද පිළිකාව පසුගිය කාලය තුළ නිතර වාර්තාවීමේ වර්ධනයක්  දක්නට ඇති අතර වයස අවුරුදු 60 පමණ වනවිට ගුද පිළිකා අවධානමක් ඇති වන බව නවතම අධ්‍යයන විසින් සොයාගෙන තිබෙනවා.

මුලික රෝග ලක්ෂණ:

ගුදය අවට කැසීම

ගුදයේ මුඛය අවට විශේෂිත හේතුවකින් තොරව දිනපතා කසන සුළු ස්වභාවයක් ඇති වනවා නම් මෙය ගුද පිළිකාව ඇතිකරන සෛල විකෘතිතාවයන් නිසා ඇතිවන පූර්ව රෝග ලක්‍ෂණයක් වන්නට ඉඩ තිබෙනවා.

ලේ වහනය

ගුද මාර්යෙන් රුධිරය පිටවීම මළපහ වල රුධිරය තැවරී පිටවීම මගින් සොයාගන්නට පුළුවන්. ගුද මාර්ගයෙන් රුධිරය පිටවීම මලබද්ධයේ සිට උදර ආසාදන යන බොහෝ රෝග ගණනක් නිසා සිදුවූවත් මෙය කිසිවිටකත් නොසලකා හරිය නොයුතු කරුණක්. මෙම රෝග ලක්‍ෂණය මගිනුත් ගුද පිළිකාවේ අවධානම කියාපාන නිසා ඔබත් මෙය අත්විඳිනවා නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න.

ගුද මග ඉදිමීම

ගුද මාර්ගය ඉදිමීම පිළිබඳ පරීක්ෂාවක් තාම විසින්ම හෝ වෛද්‍ය පරීක්‍ෂණයක් මගින් පරීක්‍ෂාකර ගත යුතු වනවා. ගුද මාර්ගයේ ඇතිවන ඉදිමීමද ගුද පිළිකාවේ රෝග ලක්‍ෂණයක් වනවා. මෙම තත්වය වේදනාකාරී බවක් ගෙන නොදුන්නත් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමයි සුදුසු වන්නේ.

අමුතු තරල වහනය

සෞඛ්‍යය සම්පන්න අයෙකුගේ ගුදයෙන් කිසියම් හෝ තරලයක් ශ්‍රාවය වීම ඉතා විරල වූ දෙයක්. ගුද මාර්ගයෙන් නිකුත් වන තරලයන් මගිනුත් ගුද පිළිකාවේ ලක්‍ෂණ පෙන්නුම් කරන නිසා මේ පිළිබඳවත් නිසි අවධානයක් යොමුකළ යුතු වනවා.

පටු පටි ආකාර මළ පහවීම

ඔබේ උදරයේ මළපහ තවමත් තිබෙන බවක් ඔබට දැනෙන අතර මළපහ කිරීමේදී පිටවන මළපහ වල හැඩය පටු ස්වභාවයක් ගන්නවා නම් එයත් ගුද පිළිකාවේ රෝග ලක්ෂණයක් වනවා. මෙම තත්වය ඇතිවන්නේ ගුද මාර්ගය තුළ ඇතිවන වායි ගෙඩි මගින් මළපහ සඳහා පිටවීමට ඇති ඉඩ ප්‍රමාණය ඇහිරීම නිසයි.

මුලින් ගුද මාර්ගය ආශ්‍රිතව පිළිකාව ආරම්භ වුවත් මෙය මහාන්ත්‍රය ඇතුළත පටකයටත් එතැනින්  කාලයත් සමග අන්ත්‍රයේ අනෙකුත් පටක හරහාත් පැතිර ගොස් සිරැරේ යාබද අනෙකුත් අවයවවලටද පැතිරී යා හැක. පිළිකා සෛල වසාවාහීනී හරහා පැතිරීමෙන්  සිරැරේ වසා ගැටිති තුළටද පැතිර යා හැක. එමෙන්ම රුධිරය හරහා පැතිර යන පිළිකා සෛල, අක්මාව. පෙනහලු සහ මොළය ආදී ශරීරයේ අනෙකුත් අභ්‍යන්තර ඉන්ද්‍රීයයන්වලටද පැතිර යා හැක. මෙම පිළිකා ඇතිවීම සඳහා හේතු ගණනාවක්ම බලපායි. අපගේ සෛල තුළ තිබෙන ජානවල සිදුවන වෙනස්කම් මෙම රෝගය ඇතිවීමට බලපෑමක් ඇතිකරන බව වෛද්‍යවරුන් සොයාගෙන ඇත. නමුත් මෙම පිළිකාව සාමාන්‍යයෙන් පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරන රෝගයක් නොවේ. 

මෙයට අමතරව පහත සාධක ඇත්නම් කෙනෙකුට මහාන්ත්‍රය සහ ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා වැළඳීමට වැඩි නැඹුරුතාවයක් පවතී.

• බඩවැලේ ඉදිමුම් ස්වභාවයක් තිබීම.

• අධික තෙල් සහිත ආහාර ගැනීම.

• තන්තුමය (කෙඳි සහිත) ආහාර අඩුවෙන් ගැනීම.

• දුම්පානය සහ අධික ලෙස මත්පැන් පානය.

• අධික ලෙස තරබාරු වීම සහ ශාරීරික ව්‍යායාම මඳ බව.

• පවුලේ ඥාතීන්ට මහාන්ත්‍රය හා ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා තිබීම.

• අල්සරේටිව් කොලයිටිස් හෝ ක්‍රෝන්ස්  වැනි රෝග තත්ත්ව පැවතීම.

මෙයින් මිදීම සඳහා කුමක් කළ යුතුද?

• අධික තෙල් සහිත ආහාර භාවිතය අවම කරන්න.

• හැකි තරම් බහුලව කෙඳි සහිත ආහාර වන එළවළු පළතුරු සහ ධාන්‍ය වර්ග ඔබගේ ආහාර වේලට එකතු කරගන්න.

• දුම්බීම සහ මත්පැන් පානය නවත්වන්න.

• තරබාරු නොවී සිටීමට වග බලාගන්න.

• නිතිපතා ව්‍යායාම්වල නිරත වන්න.

ඔබගේ පවුලේ ඥාතීන්ට මෙම පිළිකාව වැළඳී ඇත්නම්, ඉක්මනින් මෙබඳු රෝග ලක්ෂණ පහළ වූ වහාම වෛද්‍යවරයා හමුවී අදාළ පරීක්ෂණවලට භාජන වී නිසි වෛද්‍ය ප්‍රතිකාර කරා යොමුවිය යුතුයි. ලජ්ජාව නිසා ලෙඩේ සඟවාගන සිටීමෙන් එය වේදනාකාරී අසාධ්‍ය තත්ත්වයකට පත්විය හැකියි.

- සුගත්