2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා

තමනුත් අවුල් වී අන් අයත් අවුල් කරන පෞරුෂයේ ගැටලු

 2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 645

අද සමජය තුළ බහුලවම පැතිර ඇති මනසේ මායාවක් හැටියට පෞරුෂය බිඳ වැටීම හඳුන්වන්නට පුළුවනි. මෙවන් පෞරැෂයේ අවුල් හේතුවෙන් අදාළ පුද්ගලයා නොදැනුවත්වම සිය ජීවිතය පවා හානිකර ගන්නා තැනට පත්විය හැකියි. සමාජය ඔහුගේ දුර්වලතා තේරුම් නොගැනීම නිසා සබඳතාවන්ගේ ගැටුම් ඇතිවීමක් සිදුවේ. අපි බලමු අද මොනවද මේ පෞරුෂයේ ගැටලු කියලා.

පෞරුෂ භින්නතා පහත පරිදි වර්ගීකරණය කළ හැකිය.

01. තනිවීම: නැගී එන පාලනයට අපහසු අසුභවාදී හැඟීම්, නිතරම භයෙන් පෙලෙන පෞරුෂය (Negative Affection)

මෙහි ලක්ෂණ -

A. ක්ෂණිකව මනස අවුල්වන හෝ කලබලයට පත්වීම. කුඩා සිද්ධියකදී ක්ෂණිකව ඇඬීම, අසාමාන්‍ය ලෙස තරහා යාම.

B. අතීතය ගැන හෝ අනාගතය ගැන සිතා නිතරම කනස්සලු ස්වභාවයෙන් සිටීම. කුඩා දෙයකට පවා භියට පත්වීම සහ පැනික් නැමැති අවුල්සහගත තත්ත්වයට ගොදුරු වීම.

C. තමා තනි වේ යැයි අතරමං වේ යැයි, තමා දමා යාවීය යන භීතිය.

D. අසාර්ථක බව දැන දැනම යම් දෙයක් පිටුපස වියරුවෙන් මෙන් ඒ ගැනම සිතීම සහ සාර්ථක කරගැනීමට උත්සාහ කිරීම.

E. ඉතා කුඩා සිද්ධියක් අරඹයා යම් කෙනකු කෙරෙහි කෝපය සහ වෛරය තබා ගැනීම.

F. නිතරම ජීවිතය පිළිබඳ අසුභවාදී කලකිරීම, ජීවිතය එපා වීම, බලාපොරොත්තු නැති වීම, සමහරවිට ජීවිතය නැති කරගැනීමේ සිතුවිලිවලින් පිරී තිබීම.

G. සම්බන්ධතාවලදී නිතරම සැකයෙන් සහ අවිශ්වාසයෙන් අනෙක් පුද්ගලයන් දෙස බැලීම.

02. හුදෙකලා වීම, පලායාම හෝ තනිවීමට කැමති පෞරුෂය. මෙම පෞරුෂ ගැටලු තිබේනම් මානසික අවපීඩනය, පලා යාමේ පෞරුෂය, සමාජ භීතිකාව, අන්නමත යැපීමට බර පෞරුෂය වැනි පෞරුෂ භින්නතා තිබේදැයි සොයාබැලිය යුතුය.

Detachment – Withdrawal from other people and social interactors.

බැරෑරුම් මුහුණ:

A. සිනහ වීමට අපහසු මුහුණින් හැඟීම් ප්‍රකාශනය අඩු සතුටු වීමට හෝ විනෝද වීමට අකමැති ගති ලක්ෂණ (Restricted Affection)

B. හුදෙකලාව විසීමට කැමති සමාජ සම්බන්ධතාවලට අකමැති ගති ලක්ෂණ. (Withdrawal)

C. කිසිම දෙයකට ආසාවක් නැති, හැඟීම් ප්‍රකාශ නොවන, පණ නැති, ඈලි මෑලි, සතුටු විය යුතු නැති සතුටු විය නොහැකි, ඉන්නවාට ඉන්නවා වැනි පෞරුෂ ගති ලක්ෂණ. (Anhedonia)

D. ආදරය කිරීමට නොහැකි, ආදර සම්බන්ධතාවලට අකමැති, එවැනි හැඟීම් නොදැනෙන, එවැනි සුන්දර බවක් නැති, එවැනි සම්බන්ධතාවලට අකැමැති පෞරුෂ ගති ලක්ෂණ. (Intimacy Accordance)

03. රැවටිලිකාරයෝ: තක්කඩිකම, කපටිකම, වංචා සහගතබව, රැවටීම, තමාගේ වැරදි අනුන්ට පැටවීම, අනුන් කෙරෙහි ඇති අනුකම්පාව හෝ හැඟීම් අඩුවීම, තමා නිතරම ලොක්කෙකු යැයි සිතීම සහ අනෙක් අය යටත් කරගෙන සිටීමට ඇති ආශාව, අනෙක් අයගෙන් සැලකිල්ල සහ අවධානය අසාමාන්‍ය ලෙස බලා‍පොරොත්තු වීම ආදී පෞරුෂ ගැටලු. මෙවැනි පෞරුෂ ගැටලු ඇත්නම් පහත සඳහන් පෞරුෂ භින්නතා දෙකෙන් එකක් විය යුතුය. ඒවා නම්,

  • සමාජ විරෝධි පෞරුෂය (Antisocial Personality)
  • නාසිශ්ටික පෞරුෂය (Narcissistic Personality)

ඉහත පෞරුෂ ලක්ෂණ එකතුව මනෝ විද්‍යාවේ රැවටීම, වංචාසහගත ලෙස හැසිරීම (Antagonism) සහ ප්‍රයෝගකාරී හැසිරීම යටතේ විස්තර කෙරේ.

A. රැවටීම - සූක්ෂම ලෙස කෙනකු රවටා ඔහුගේ හෝ ඇයගේ ජීවිතයට බලපෑම් කිරීම.

B. වංචාසහගත බව - සත්‍ය සඟවා බොරු කියා සූක්ෂම ලෙස තව කෙනකුට හානි කිරීම.

C. ලොකුකම හෙවත් බොරු ආඩම්බරකම - තමා කරන කියන දේ නිතරම නිවැරදි යැයි සිතීම, තමා ලොකු යැයි සිතීම, අනෙක් අය තමාගේ මතය හෝ විශ්වාසය ඒ ආකාරයෙන්ම පිළිගත යුතු යැයි සිතීම. එසේ නොවන කළ දැඩි කෝපයට හෝ වෛරයට පත්වීම.

D. අවධානය - අනෙක් අයගේ අවධානය, සැලකිල්ල දැඩි ලෙස බලාපොරොත්තු වීම. එසේ නොවුන කල දැඩි කෝපයට හෝ වෛරයට පත්වීම.

E. හැඟීම්වලින් තොර වීම - අනිත් අය කෙරෙහි හැඟීමක් නොමැතිකම, අනුකම්පාවක් නොමැතිකම, අනෙක් අයට සිදුවන මානසික හෝ ශාරීරික හානිය පිළිබඳව පසුතැවීමක් නොමැති වීම.

04. වගකීමක් ගැනීමට නොහැකි, හැඟීම් පාලනයට අපහසු පෞරුෂය (Disinhibition)

පෞරැෂ ලක්ෂණ

A. වගකීම - වගකීමක් ගැනීමට හෝ කැපවීමකින් යමක නිරත වීමට නොහැකිය. පොරොන්දු හෝ ගිවිසුම් ඉතා පහසුවෙන් කඩ කරයි. මුදල් පරිහරණය ද අපහසුයි.

B. හැඟීම් පාලනය - කිසිම සොයා බැලීමක් නොමැතිව ක්ෂණිකව කෝපයට පත්වීම, ක්ෂණිකව තීරණ ගැනීම, සියලුම දේ අවුල් කර ගැනීම, සිදුවිය හැකි ලාභය හෝ පාඩුව පිළිබඳව හැඟීමක් නොමැති වීම.

C. අවධානය - යම් දෙයකට දිගටම අවධානය යොමු කිරීමට නොහැකි වීම, බාහිර දේවල්වලින් අවධානය පහසුවෙන් බිඳීම.

D. හානිකර හැසිරීම - කිසිම ගාණක් නොමැතිව තමාට හානිකර හැසීරීම් රටාවල යෙදීම, එහි සීමාවක් නොදැකීම.

05. අසාමාන්‍ය අත්භූත රටාවක් සහිත පෞරුෂය (Psychoticism)

පෞරුෂ ලක්ෂණ

A. අසාමාන්‍ය විශ්වාසය සහ හැසිරීම - සිතුවිලි විකාර රූපීය. අසාමාන්‍ය අත්දැකීම් ඔවුන් විස්තර කරයි. උදා - මට අපූරු අදහස් තියෙන්නේ. අනෙක් අයට මගේ අදහස් අවබෝධ කරගන්න බැහැ. අනෙක් අය නොදකින නොදැනෙන දේවල් මට දැනෙනවා.

B. කථනය - කතාව තුළ අතිශයින් ගුප්ත බවක් ඇත. උදා - මට ඔයා දිහා බලලා මැරෙන දවස කියන්න පුළුවන්.

►කිරිබත්ගොඩ මූලික රෝහලේ
මානසික වෛද්‍ය
නයනානන්ද කුමාරනායක.

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00