2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා

මාරාන්තික පිළිකා ගැන ඔබ දැනුම්වත්ද?

 2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා, ප.ව. 05:45 5375

ලෝකයේ වැඩිම ප්‍රමාණයක් මියයන සහ ලංකාවේද වැඩිම රෝගීන් ගණනක් වාර්තාවන මාරාන්තිකම රෝගය පිළිකාවයි. කල්තියා දැනගතහොත් පිළිකා සුවකළ හැකියි. නමුත් පිළිකාව පිළිබඳ නිවැරුදි අවබෝධ්‍යක් තාමත් සමාජය තුළ දක්නට නැත. ඒ නිසාම අන්තිම මොහොත වනතුරැ පිළිකා ගැන සොයා බලන්නට පිරිස යොමුවෙනවා අඩුයි.

පිළිකා යනු කුමක්ද?

මිනිස් සිරුර සැදී ඇත්තේ ඇසට නොපෙනෙන කුඩා සෛල නැමති ඒකක කෝටි ප්‍රමාණයකිනි. මේ සෑම සෛලයක් තුළම එහි පාලනය වර්ධනය කිරීම සඳහා න්‍යෂ්ටිය යනුවෙන් හැඳින්වෙන ව්‍යුහයක් දක්නට ඇත. මෙම වර්ධනය සහ සෛල බෙදීම යම්කිසි ක්‍රමානුකූල රටාවක් අනුව සිදුවේ. සමහර අවස්ථාවන්හි දී මෙය ව්‍යාකූලව හෝ අක්‍රමවත් ලෙස සිදුවේ. තවද මෙසේ නිපදවන අසාමාන්‍ය සෛල වර්ධනය වෙමින් නිරෝගී පටකවල පෝෂණය ලබමින් ශරීරයේ අනිකුත් කොටස් ආක්‍රමණය කෙරේ. මෙවැනි ආක්‍රමණකාරී සෛල සමූහයකට පිළිකාව යැයි කියනු ලැබේ.

පිළිකාව ශරීරය තුළ පැතිර යන්නේ කෙසේද?

පිළිකා ශරීරය තුළ පැතිරීම පහත සඳහන් ආකාර 3 අනුව සිදුවේ.
(අ) ආක්‍රමණයෙන් - පිළිකා සෛල යාබද පෙදෙස්වලට වැඩි සාමාන්‍ය පටක අතර පැතිරී ඒවා විනාශ කරයි.
(ආ) රුධිරයෙන් - පිළිකා සෛල රැධිර වාහිනීවලට ඇතුළු වී රැධිරය මගින් පැතිරේ.
(ඇ) වසා පද්ධතිය මගින් - පිළිකා සෛල වසා නාලවලට ඇතුළු වී වසා ගැටිති (කුද්දටි) මතු කරමින් පැතිරේ.

පිළිකා බෝවන රෝගයක්ද?
නැත. පිළිකා රෝගියෙකු ඇසුරු කිරීමෙන් හෝ සාත්තු කිරීමෙන් රෝගය බෝ නොවේ.

පිළිකා රෝගය පාරම්පරිකද?
කෙටිම පිළිතුර නැත යන්නයි. නමුත් සමහර විරල පිළිකා වර්ග කීපයක් පමණක් පාරම්පරිකව ඇතිවන බව සොයාගෙන තිබේ.

රෝගයට ගොදුරු වන්නේ කවුද?
වයස් භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට පිළිකාවක් වැළඳිය හැකිය.

ලංකාවේ බහුල පිළිකා වර්ග මොනවාද?
(අ) මුඛ පිළිකා
(ආ) ගර්භාෂ පිළිකා
(ඇ) පියයුරු පිළිකා

පිළිකා සුවකළ හැකිද?
ඔව්. පිළිකා සාර්ථක ලෙස සුව කිරීමේ හැකියාව රඳා ඇත්තේ එය කල්තියා දැන ගැනීමෙනි. ඕනෑම පිළිකාවක් පැතිරයාමට පෙර හඳුනාගත්තේ නම් සම්පූර්ණයෙන් සුව කිරීමට හැකියාවක් තිබේ.

ගැබ්ගෙල පිළිකාවක මූලික රෝග ලක්ෂණ මොනවාද?
1. යෝනි මාර්ගයෙන් අක්‍රමවත් රුධිර වහනය.
2. ලිංගික සංසර්ගයට පසු රුධිර වහනය.
3. යෝනි මාර්ගයෙන් අධික දුර්ගන්ධයකින් යුත් ශ්‍රාවයක් පිටවීම.
4. මාස් ශුද්ධිය නැවතී ඇති කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් රුධිරය පිටවීම.

ගැබ්ගෙල පිළිකාවක අවදානම වැඩි කාටද?
1. HPV (හියුමන් පැපිලෝමා) නැමති වෛරසය ආසාදිත කාන්තාවන්ට.
- ගැබ්ගෙල පිළිකා 95% කට වඩා HPV ආසාදනය මගින් සිදුවේ.
- ලිංගික ජීවිතය ඇරඹීමට පෙර HPV එන්නත ලබා ගැනීමෙන් මෙම ආසාදනයට ලක්වීම වලක්වා ගෙන එමගින් ගැබ්ගෙල පිළිකාව වලක්වා ගත හැක.
- දැනට මෙම එන්නත ශ්‍රී ලංකාවේදී ලබාගත හැක්කේ පෞද්ගලික වෛද්‍ය සේවා මගින් පමණි.
2. අඩු වයසින් ලිංගික ජීවිතය ඇරඹූ කාන්තාවන්ට.
3. බහුපුරුෂ සේවනයේ යෙදෙන කාන්තාවන්ට.
4. බහු ස්ත්‍රී සේවනයේ යෙදෙන පුරුෂයන් සමඟ ලිංගිකව සම්බන්ධවන කාන්තාවන්ට.
5. අක්‍රීයව හෝ සක්‍රීයව දුම්පානයේ යෙදෙන කාන්තාවන්ට.
6. විවිධ රෝග සඳහා ප්‍රතිශක්තීකරණය හීන කරවන බෙහෙත් ගන්නා කාන්තාවන්ට.
7. ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග සෑදී ඇති කාන්තාවන්ට.

ගැබ්ගෙල පිළිකාව පූර්ව පිළිකා අවධියේ දී හඳුනාගත හැකිද?
ඔව්. අනෙකුත් පිළිකා වර්ග මෙන් නොව ගැබ්ගෙල පිළිකාව වළක්වා ගත හැක. ගැබ්ගෙලෙහි සිදුවන වෙනස්කම් මුල් අවස්ථාවේ දී හඳුනාගැනීමෙන් හා ප්‍රතිකාර කිරීමෙන් එම මූලික අවස්ථාවන් පිළිකාවක් බවට කල්යාමේදී පත්වීමට ඇති හැකියාව වළකාලයි.

ඔබ ගැබ්ගෙල පිළිකාවක් සෑදීමේ අවදානමක සිටින බව කලින් දැනගත හැකිද?
එය පැප් පරීක්ෂාවකින් කළ හැකියි. 
• පැප් පරීක්ෂාවක් යනු: ගැබ්ගෙල ආශ්‍රිතව සිදුකරන සරල පරීක්ෂණයකි. 
• මේ සඳහා ඔබ පැමිණිය යුතු වන්නේ මාසික ශුද්ධවීම සිදුවී නොමැති දිනකදීය.
• මෙමගින් ඔබට කිසිදු වේදනාවක් හෝ අපහසුතාවයක් ඇති නොවේ.
• මෙමගින් ගැබ්ගෙලෙහි පූර්ව පිළිකා සෛල හඳුනාගත හැක.

පැප් පරීක්ෂණයට යොමුවිය යුත්තේ කවුද?
• පැප් පරීක්ෂණය නිරෝගී කාන්තාවන් වෙනුවෙනි.
• ලිංගික සම්බන්ධතා පවත්වන සියලු කාන්තාවන් සඳහා ප්‍රථම ලිංගික එක්වීමෙන් වසර 5කට පසු මෙය නිර්දේශ කෙරේ.
මෙම පරීක්ෂණය අවුරුදු 35ට වැඩි කාන්තාවන්ට සුවනාරි සායනවලදී කරගත හැක.
පැප් පරීක්ෂණයේ ප්‍රතිඵල අසාමාන්‍ය නම්:
• ගැබ්ගෙල පිළිකා ස්ථීරවම ඇත්දැයි හඳුනා ගැනීමේ පරීක්ෂණ සඳහා යොමු කිරීම.
• ඒ සඳහා වෛද්‍ය උපදෙස් ලබාගන්න.
සාමාන්‍ය නම්:
• එය සතුටුදායක පණිවිඩයකි.
• නමුත්, ඔබගේ ඊළඟ පැප් පරීක්ෂණය වසර 5කින් සිදුකර ගත යුතුය.

පැප් පරීක්ෂණයට යොමුවිය හැක්කේ කෙලෙසද?
• ඔබගේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් පවත්වනු ලබන සුවනාරි සායනය මගින්,
• රෝහල් මගින් පවත්වනු ලබන සුවනාරි/නාරිවේද සායන මගින්,
• පෞද්ගලික අංශයේ සායන මගින්,
• පිළිකා කලින් හඳුනා ගැනීමේ ජාතික සායනය
ගර්භාෂ දේහ පිළිකා
මෙය මැදිවියේ හා මැදිවිය ඉක්මවූ කාන්තාවන් අතර දක්නට ලැබෙන පිළිකාවකි.
ළමයින් නොලද හෝ අඩු සංඛ්‍යාවක් ලැබුණු කාන්තාවන් මේ රෝගයට විශේෂයෙන් ගොදුරැ විය හැක.
රෝග ලක්ෂණ:

අක්‍රමවත් ලේ වහනය හෝ ආර්තවය නැවතීමෙන් පසු ඇතිවන ලේ වහනය මෙහි ප්‍රධාන ලක්ෂණයකි. ආර්තවාහරණය සිදුවන වකවානුවේ දී මෙවන් ලක්ෂණ තිබේ නම් මෙම රෝග ලක්ෂණ සාමාන්‍ය සිදුවීමක් යැයි නොසිතා නොපමාව වෛද්‍ය උපදෙස් පැතිම නුවණට හුරුයි.

♦උපදෙස්: ජාතික පිළිකා සංගමය

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00