2016 දෙසැම්බර් 12 වන සඳුදා

ස්ත්‍රී දූෂණය ලෙඩක්ද?

 2016 දෙසැම්බර් 12 වන සඳුදා, පෙ.ව. 12:00 506

 

මිනිසුන් විසින් කරනු ලබන දරුණුතම නීති විරෝධී ලිංගික ක්‍රියාව ස්ත්‍රී දූෂණයයි. සමහර විට පිරිමියකු විසින් පිරිමියකු ද, ස්ත්‍රීයක විසින් පිරිමියකු ද, ස්ත්‍රීයක විසින් ස්ත්‍රීයක ද දූෂණයට ලක්විය හැකිය. එබැවින් දූෂණය අර්ථ දක්වන්නේ අනුමැතියෙන් තොරව යමකු සමඟ බලහත්කාරයෙන් සංසර්ගයේ යෙදීම ලෙසය.

වැඩිපුරම සිදුවන්නේ පිරිමින් විසින් ස්ත්‍රීන් දූෂණයට ලක්කිරීම නිසා අපි මින් ඉදිරියට ස්ත්‍රී දූෂණය යන වචනය භාවිත කරන්නෙමු.

ස්ත්‍රී දූෂණය ඇයගේ අනුමැතිය නොමැතිව කායික ශක්තිය යොදවා හෝ බිය ගන්වා හෝ මත්ද්‍රව්‍ය  ලබාදීමෙන් පසුව සිදුවිය හැක. සමහර විට දූෂණයට ලක්වන තැනැත්තිය මන්ද බුද්ධික හෝ මානසික රෝගයකින් පෙළෙන හෝ බාල වයස්කාරියක් වීමට ද පුළුවන.

ස්ත්‍රී දූෂණය පිළිබඳ නීති රීති රටින් රටට වෙනස්වේ. සමහර රටවල නීතියට අනුව ස්වාමි පුරුෂයා සිය භාර්යාවගේ අනුමැතිය නොමැතිව ලිංගික සංසර්ගයේ යෙදේ නම් එයද දූෂණයකි.

මෙවැනි අවස්ථාවලදී බොහෝ විට ස්ත්‍රීයගේ සිරුරේ විවිධ තුවාල ඇති වීමට ද ඉඩ තිබේ. බොහෝ විට දූෂණ සිදුවන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමක් ලෙසය. 2004 දෙසැම්බර් 26 වෙනි දින ඇතිවූ සුනාමි ඛේදවාචකයට හසුවූ කාන්තාවන් බේරාගැනීමට ඉදිරිපත් වූ පිරිමින් අතින් දූෂණයට ලක්වූ තරුණියන් දෙදෙනකු ප්‍රතිකාර සඳහා අප වෙත යොමු විය. ඔවුන් දෙදෙනාම දූෂණයට ලක්වුණේ සුනාමිය නිසා හටගත් පසුබිම නිසාය. එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන තම ලිංගික අවශ්‍යතාව ඉටුකර ගැනීම සඳහා ඇතැම් පිරිමි තරුණියන් දූෂණය කළෝය. බොහෝවිට තරුණියන් රවටා ගන්නා බොරු පෙම්වතුන් විසින් ඔවුන් දූෂණයට ලක්කරනු ලැබේ.

ඉතාමත් කලාතුරකින් කාන්තාවන්ට හිරිහැරකොට, තුවාල සිදුකොට, අධික ලෙස වේදනාවට පත්කොට දූෂණයට ලක් කිරීමට පුළුවන. එසේ කරනු ලබන්නේ මානසික රෝගී තත්ත්වයට පත්වූ පිරිමින් විසිනි.

දූෂණයට ලක්වූ බොහෝ කාන්තාවන්ගේ මානසික මට්ටම එය සිදුවී මාස හයක් පමණ   ගතවූ පසු සාමාන්‍ය තත්ත්වයට හැරේ. එහෙත් සුළු ප්‍රමාණයකගේ මානසික මට්ටම කලක් ගතවූ පසුව ද යථා තත්ත්වයට පත්වන්නේ නැත. ඔවුන් මානසික අවපීඩනය හෙවත් විශාදයට පත්වේ. සමහරුන් මත්පැනට හෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමට ඉඩ තිබේ.
යම් ස්ත්‍රීයක් දූෂණයට ලක්වුවහොත් කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව අපි ඊළඟට සලකා බලමු. යමෙක් දූෂණයට ලක්වූ වහාම ඇයට අනෙක් අයගේ සහාය, ආදරය, කරුණාව සහ දයාව අවශ්‍යය වේ. ඇය වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත කැඳවාගෙන යා යුතුය. එහිදී අවධානය යොමුවිය යුතු ප්‍රධාන කාරණා පහක් ඇත. ඒවා මෙසේය.

1. ඇයට සිදුවී ඇති කායික තුවාලවලට ප්‍රතිකාර කිරීම.
2. ඇය ගර්භණී වීම වැළැක්වීම සඳහා පැය 72ක් ඇතුළත ගත යුතු වූ පවුල් සංවිධාන පෙති ලබාදීම. ස්ත්‍රීයක දූෂණයට ලක්වීමේ ප්‍රතිඵලයක් ලෙස ගර්භණී වුවහොත් බොහෝ රටවල ගබ්සාවක් මගින් එය ඉවත් කරගැනීම සඳහා නීතිමය ඉඩකඩ ඇතත් ශ්‍රී ලංකාවේ නීතිය තුළ එවැන්නක් සදහා ඉඩකඩ නැත. එබැවින් ඇය ගර්භණී වීම වැළැක්වීම සඳහා ප්‍රතිකාර ගැනීම පිළිබඳව විශේෂ අවධානයට යොමුකළ යුතුය.
3. ඇයට ඇති වී තිබෙන මානසික කම්පනය සඳහා ප්‍රතිකාර කිරීම සහ උපදේශනය.
4. ඇයට දූෂකයාගෙන් සම්ප්‍රේක්ෂණය විය හැකි ලිංගික රෝග පිළිබඳව පරීක්ෂා කර බලා ප්‍රතිකාර කිරීම.
5. ඇයට සිදුවූ අවාසනාවන්ත ඉරණම පිළිබඳව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ගයන් ගැන පවුලේ ඥාතීන් සහ ළඟම මිත්‍රයන් සමඟ සාකච්ඡා කිරීම.

ස්ත්‍රීයක් දූෂණයට ලක්වූ පසු ඇය පොලීසියට කැඳවාගෙන ගොස් නීතිමය කටයුතු කිරීම සඳහා සැවොම පෙළඹෙන්නේ නැත. එයට හේතුව නීතිමය කටයුතු කිරීමට යෑමේදී ඇයට සිදුවූ වින්නැහිය පිළිබඳව සමාජය දැනගන්නා නිසාය. එමගින් ඇයට සිදුවන අවමානය වැඩි වෙනවා මිස අඩුවන්නේ නැත. ස්ත්‍රීයට සිදුවූ දූෂණය පිළිබඳව නඩු මගට බැස්සොත් ඇයට උසාවියේදී දූෂණය සිදුවූ ආකාරය පිළිබඳ සියලු විස්තර ප්‍රසිද්ධියේ කියන්නට සිදුවේ. සමහර විට විත්තිකාරයාගේ පැත්තේ නීතිඥයන් විසින් ඇයගේ ලිංගික ජීවිතයේ ඉතිහාසය අවුස්සමින් ඇයට අවමන් වන ආකාරයේ ප්‍රශ්න ඇසීමට ද පුළුවන. එයද ඇයගේ මානසික තත්ත්වය නැවත නැවතත් පෑරීමට හේතුවිය හැකිය. අවසානයේ දී විත්තිකාරයා හෙවත් දූෂකයා නීතිය ඉදිරියේ නිදහස් වීමට ද ඉඩ තිබේ. ඒ හේතුව නිසා බටහිර රටවල පවා දූෂණයට ලක්වූවන් අතරින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පෙළඹෙන්නේ හෝ පොලීසියට විත් පැමිණිලි කරන්නේ ඉතාමත් සුළු සංඛ්‍යාවකි.

දූෂණයට ලක්වූ කාන්තාවන් උපදේශන සේවාවන්ට යොමුවීම තුළින් විශාල සහනයක් ලබාගැනීමට හැකි වේ. පුහුණුව ලත් උපදේශන සේවකයන් සමඟ කතා කිරීම මගින් ඇයගේ සිතෙහි හටගෙන ඇති බිය, වෛරය සහ සාංකාව මඟහරවා ගත හැකිය. දූෂණයට ලක්වූ වෙනත් කාන්තාවන් සමඟ සායනයේ දී සාකච්ඡා කිරීම මඟින් ද තමාට ඇතිවූ මානසික පීඩාව නැතිකර ගත හැකිය.

අවසාන වශයෙන් කිව යුතු තවත් කරුණක් ඇත. එනම් ස්ත්‍රී මෙන්ම කලාතුරකින් පිරිමින් ද ලිංගික දූෂණයට ලක්විය හැකි බවයි. මෙය තවත් පිරිමියකුගෙන්, බොහෝ විට සමලිංගිකයකුගෙන් සිදුවිය හැකිය. මෙහිදී දූෂණයට ලක්වූ පිරිමියාට ඇතිවන්නේ ද අප ඉහත සඳහන් කළ ස්ත්‍රීයට ඇතිවන කායික සහ මානසික පීඩනයට සමාන තත්ත්වයකි.

උපදෙස්: විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00