2016 සැප්තැම්බර් 20 වන අඟහරුවාදා

දුම්වැටියේ මාරාන්තික රසායන 7357ක්

 2016 සැප්තැම්බර් 20 වන අඟහරුවාදා, පෙ.ව. 12:00 220

 

සුළු මොහොතක ආස්වාදය සොයා දල්වාගන්නා සිගරුට්ටුව තුළ පලිබෝධ නාශක ඇතුළු මිනිස් ශරීරයට මාරාන්තික විෂ සහිත රසායන ද්‍රව්‍ය 7357ක් පවතින බව ඔබ දන්නවාද? අතිශය මාරාන්තික ආසනික්, කැඩ්මියම්, DDT මෙන්ම විකිරණශීලී පොලෝනියම් 210ද මේ කුඩා සිගරුට්ටුවක අන්තර්ගතව තිබේ. නවසීලන්ත පර් යේෂණ වාර්තාවකට අනුව ඇසිටෝන්, මෙතනෝල්, ටොලුයින්, ප්ලාස්ටික් සෑදීමට ගන්නා විනිල් ක්ලෝරයිඩ්, නැප්තලින්, පයිරින් ආදී රසායණික විෂ ද්‍රව්‍ය රුසක්ම අපි හොඳින් දන්නා නිකොටින් සහ කාබන් මොනොක්සයිඩ්වලට අමතරව අන්තර්ගතය. 7357ක් ලෙස හඳුනා ගැනෙන මේ විෂ ද්‍රව්‍යවලින් සියයට 70ක්ම පිළිකාකාරකයන් බව තහවුරැව තිබේ.

 

එක් සිගරුට්ටුවක් තුළ නිකොටින් මයික්‍රෝ ග්‍රෑම් 919කට ආසන්න ප්‍රමාණයක් පවතින අතර එමගින් ඇබ්බැහිවීම ඇති කරයි. හදගැස්ම ඉහළ දැමීම, රැධිර පීඩනය ඉහළ දැමීම, රැධිර සීනි ප්‍රමාණය නැංවීම ඇතුළු අහිතකර සෞඛ්‍ය තත්ත්ව ඇතිකරන නිකොටින්වල මාරාන්තික මාත්‍රාව වන්නේ මිලිග්‍රෑම් 500-1000ත් අතරය.
එන්-නයිට්‍රෝ සැමිනස් නමින් හඳුන්වන විෂ රසායනය පිළිකාජනකයකි. එසේම සිගරුට් තුළ මෙහි වර්ග දෙකක්ම අඩංගු අතර මෙමගින් ප්‍රජනන පද්ධතියට හානි සිදුකරයි. තවත් පිළිකා ජනකයක් මෙන්ම ප්‍රජනන පද්ධතියට සහ ලිංගික අවයවවලට හානිකරන විෂ ද්‍රව්‍යයක් වන බෙන්සින්ද සිගරුට් තුළ ඉහළ මාත්‍රාවකින් පවතී. (46-272 මයික්‍රෝග්‍රෑම්) ඇටමිදුළුවලට හානි පමුණුවන බෙන්සින් රැධිරයේ රතුරැධිරැණු ප්‍රතිශතයද පහළ දමයි.
ඇරෝමැටික ඇමයින යනු සිගරුට් තුළ අන්තර්ගත තවත් විසකි. එයද මිනිසාට පිළිකා සාධන රසායණයක් බව තහවුරැ කර තිබේ.
ප්‍රජනන හැකියාව පහළ දමන සහ පිළිකාකාරකයක් ලෙසද හඳුනාගන ඇති පොලි ඇරෝමැටික රසායන විශාල ප්‍රමාණයක් සිගරුට් තුළ තිබේ. මේ මගින් මිනිස් DNA හෙවත් ජාන විකෘතියට ලක්වීමද සිදුවන බව සොයාගන තිබේ.
තවත් ජාන විකෘතිකාරකයක් වන සිගරුට් විස රසායණයක් වන්නේ ඇක්රෝලින් ය. එමගින් සම සහ ශ්වසන මාර්ගයේ ඇතුළු පටකවලට හානි සිදුකරයි.
තවත් පිළිකාජනක රසායණ ද්‍රව්‍ය දෙකක් වන ඇසිටැල්ඩි හයිඩ්, 1-3 බියුටඩයින් ද සමට ඇස්වලට සහ ශ්වසන පද්ධතියට හානි සිදුකරයි. සම රුලි වැටීම ඇතුළු වයසට යාමේ ලක්ෂණ ඉක්මන් කිරීමට මේවා හේතුවෙයි. ප්‍රධාන වශයෙන්ම දුම්වැටියට එරෙහිව ඉදිරිපත්ව ඇති දෝෂාරෝපණය පෙනහළු පිළිකා සම්බන්ධවය. එසේ වුවද ලිංගික අප්‍රාණිකත්වය සිට හෘදයාබාධ, අධි රැධිර පීඩනය, දියවැඩියාව, සන්ධි දිරාපත් වීම, මාංශපේශීන් දුර්වල වීම, ප්‍රතිශක්තිය හීන කිරීම ඇතුළු වයසට යාම ඉක්මන් කර මරණය ළඟා කරවන සාධක රුසක්ම සිගරුට්ටුව තුළ අන්තර්ගත බව පර් යේෂණ වාර්තා මගින් තහවුරැ කර තිබේ.