2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

සන්තෝසම් එපාලු

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 633

ආණ්ඩු පෙරළියට ඈඳුණ රස කතා අතරෙ “සන්තෝසම්” කතා අඩු නැහැ... හිටපු ආණ්ඩුවෙ බලය රැකගන්න ට්‍රයි කළ ඒ රජයේ සිටි එක්තරා අපරාජිත ඇමැති සයිස් ලොක්කෙක් උතුරු පළාත නියෝජනේ කරන දේශපාලන ප්‍රබලයකුට කතා කළා.

කතා කළේ උන්නැහේගෙ සහයෝගය පැවති රජයට ලබාගන්නයි. එහෙම කතා කරල සංවාදය හමාර කළේ උතුරේ නායකයගෙ දේශපාලන වටිනාකම අනුව ලොකු මිලක් නියම කරලයි. අපට ආරංචි විදියට ඒක ඉතාම ලොකු මිලක්ලු. කොහොමින් කොහොම හරි තමන්ට ලොකු මිලක් නියම කිරීම ගැන සිනාසෙමින් ස්තූති කළ උතුරේ ප්‍රබලයා දකුණෙන් කතා කළ හිටපු ඇමැති ප්‍රබලයාට දුන්නෙ අපූරු උත්තරයක්...

“මිනිස්ටර්.. මම මන්ත්‍රී වුණාට ලොකු පොහොසතෙක් නෙවෙයි. මම සෑහෙන්න ආර්ථික ප්‍රශ්න තිබෙන කෙනෙක්. ඒත් මම කාලයක් පවත්වගෙන ආපු ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ ප්‍රතිපත්තියෙ හැටියට මට ඔය යෝජනාවට කොහෙත්ම එකඟවෙන්න බැහැ. මම මරණය පෙනී පෙනී නොමැරුණු කෙනෙක්. තනතුරු නැතුව ප්‍රතිපත්ති මත විපක්ෂයේ හිටපු කෙනෙක්. ඔය මුදලට වඩා මට මගේ පිළිවෙත ලොකුයි... ඔබතුමාගෙ යෝජනාව නොපිළිගැනීම ගැන කනගාටුයි. කතා කළාට ස්තූතියි”... කියපු උතුරෙ ලොක්ක දුරකතනය විසන්ධි කළා. සල්ලිවලට සේරම විකිණෙන ලෝකෙ මෙහෙම අයත් ඉන්න එක පුදුමයි නේද?