2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

නවග්‍රහයොත් උදව් කළේ නැහැල්ලු

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 508

අලුත් ආණ්ඩුවක් එනකොට බලවත් හොඳ බජට් එකක් තියෙන ඇමැති අංශයක් ලබාගන්න හුඟදෙනෙක් උනන්දුයි... මේවට දේශපාලන අනුග්‍රහය විතරක් නෙවේ ලෝක පාලක දෙවි දේවතාවුන්ගෙන් නවග්‍රහයන්ගෙන් සපෝට් එක ගන්න බලවත් අය නොයෙක් ජරමර කරනවා.

ඉතින් ඔන්න ආණ්ඩුව පත්වෙන්න දින නියම වුණාම උඩරට පළාතෙ පොහොට්ටුව නියෝජනේ කරන හිටපු ඇමැති සයිස් මහත්තයෙක් තමන්ට අනාගත ආණ්ඩුවෙ පට්ටම් වාසනාව තියෙනවද කියලා බලන්න කල්පනා කළා...

ඊට පස්සෙ උන්නැහේ තමන්ට හිතවත් ව්‍යාපාරික භවතකුගෙන් අනුග්‍රහය අරන් අල්ලපු රටට ගියා කියමුකො. ගිහිල්ලා සාත්තර බැලුවා. මහා පුදබිමක දැවැන්ත පූජාවක් කළා... ඊට පස්සෙ තවත් යාග හෝම ගණනක් කළා... එහෙම කරල සතුටින් ලංකාවට ගොඩබැස්සේ ආපු ගමන් අලුත් ආණ්ඩුවෙ පට්ටමකට සැට්වෙන්න හීන බල බලා. ඔන්න ඊට දවස් ගණනකට පස්සෙ අලුත් ආණ්ඩුව බිහිවුණා. ඒත් අර පට්ටමක් ගන්න පුදපූජා කළ උන්නැහේට මුකුත්ම ලැබුණේ නැහැ.

පක්ෂ තීන්දුවක් නිසා පොහොට්ටුවෙ අය තනතුරු වාරණය කරපු හින්ද එහෙම වුණයි කියල උන්නැහේ හිත හදාගත්ත... ඊට පස්සෙ නුවරට කිට්ටු එළිය පේන පැත්තක නිවහනට ගිය උන්නැහේ දැන් ඒ.බී.සී.ඩී. කිය කියා ඉන්නවලු.