2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

හතරමහ නිදානෙ පහළවෙලාලු...

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 1030

අපි මේ කියන්නෙ ඈත පළාතක් නියෝජනේ කරන කටකාර දේශපාලුතුමෙක් ගැනයි... උන්නැහේ පට්ටමෙන් කැබිනට් සයිස්. නියෝජනේ කරන්නෙ පුටුව වුණත් අලිය පිට යන්නත් අකමැත්තක් නැහැ කියල තතු දත් අය කියනවා...

අම්ම අප්පොච්චි එක්ක වුණත් හරි හරියට කටගහන්න දන්න මුන්නැහේ පසුගිය දවස්වල නිතර නිතර නුවර පැත්තෙ ගිහිල්ල ඉන්නවා පෙනුණා...

මෙතුමා නුවර පැත්තෙ ගියේ නිකමට නෙවේ... මාලිගාව පේන මානෙ තියෙන ටවුමෙ ලොකුම ඉඩමක් බලන්නලු... ඒක විශාලත්වයෙන් අක්කර තුන හතරක්... මිල කෝටි එකසිය පනහටත් වැඩියි. දෙසීයක් කීවත් වරදක් නැහැ...

එයා මේ ඉඩමට බැල්ම දාන්නෙ සල්ලිවලට ගන්නලු... අරන් ලොකුම ලොකු ව්‍යාපාරයක් කරන්න කියලයි ආරංචි...

මේ දවස්වල මුන්නැහේ ඒකෙ අයිතිකාරය එක්ක මිල ගණන තව සොච්චමක් හරි අඩුකරගන්න හෙට්ටු කරමින් ඉන්න බවත් කියැවෙනවා... කොහොම නමුත් දැන් වාර තුනක්ම ඉඩම පරීක්ෂා කරලා තියෙන එතුමා ඉදිරි සතිය දෙක තුළ මේ ගනුදෙනුව කම්මුතු කරන්නයි යන්නෙ...

අපිට දැනගන්න තියෙන විදියට මේ නාට්‍යයේ සැබෑ නළුව ඇමැතිතුමා වුණාට වේදිකාවෙ රඟපාන්නෙ වෙන කෙනෙක්... ඒ කියන්නෙ වෙන කෙනෙක් නමටයි ඔප්පු තිරප්පු ලියන්න තීන්දුවෙලා තිබෙන්නෙ...

ඒත් ඉතින් වැදගත් කාරණේ ඕක නෙවෙයි. යහපාලනේ වෙනුවෙන් නිතර නිතර කෑගහන පසුගිය ඡන්ද වේදිකාවෙදි ගිය ආණ්ඩුවෙ පතුරැ අරින්න ගිහිල්ල තමන්ගෙ ආසනෙත් පැරදිච්ච... පස්සෙ ලැයිස්තුවට පින් සිද්ධවෙන්න දියවන්නා කවුන්සිලේට ඇන්ටර් වෙච්ච මෙතුමාට මෙච්චර ලොකු ඉඩමක් ගන්න එකපාරටම හතරමහ නිදානෙ පහළ වුණේ කොහොමද කියන එකයි.

ඔන්න යහපාලන ප්‍රේමීන්ට අපි දුන්නෙ හොඳ ඔත්තුවක්. මෙතන කිව්වෙ කතාවෙ පෙරවදන විතරයි... ඉතිරි කොටස තමයි වඩාත් රසවත්...