2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

උන්නැහේට නින්ද ගිහින්

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 868

සිංහල සිනමාවෙ දැවැන්තයො කිහිපදෙනෙක් පසුගිය දවසක එක්තරා ඇමැති සයිස් මහත්තයෙක් හම්බුවෙන්න ආව... උන්නැහේලා ඇමැතිව හම්බුවෙන්න ආවෙ ලංකාවෙ විවිධ පළාත්වල තියන බයිස්කෝප් හෝල්වලට බලපාන ප්‍රශ්න වගයක් ගැන කතා කරන්න...

පළාත්වල පාලනේට වගකියන වගකිවයුතු කෙනෙකුට තමන්ගෙ ප්‍රශ්නය කියල විසඳගැනීමයි සිනමාකරැවන්ගෙ අරමුණ වුණේ... ඒ හින්ද උන්නැහේලා ලිපිලේඛන තොරතුරැ ෆයිල් පිටින් ලෑස්තිකරගෙන ආව. ඔන්න කිව්ව වෙලාවට මීටිම පටන් ගත්ත ඇමැති තැන මුලසුනට බරවෙලා කතාවට සවන්දුන්නා...

සිනමා කස්ටිය ටිකක් වෙලා තමන්ගෙ ප්‍රශ්න බරසාර විදියට කියාගෙන ගියත් ඇමැති තැනගෙන් ඒ කතාවලට ප්‍රතිචාරයක් නැති නිසා ඇමැතිතුමා දිහා බලපු සිනමා කස්ටියට පෙනුණෙ ඇමැතිතුමා මුලසුනේ සැපට නිදි කියලයි.

තමන් කතා කරද්දී මුලසුනට වී නිදාගන්න ඇමැතිට ප්‍රශ්න කියවල වැඩක් නැති නිසා සිනමාකරැවො කතාව නවත්තල “ඇමැතිතුමා නිදි එයා දැන්ම නැගිටින පාටකුත් නැහැ ඒ හින්දා අපි යමු කියල ආපසු යන්න සූදානම් වුණා... ඔන්න බොලේ ඒ පාර එකවරම නින්දෙන් ඇහැරැණ ඇමැති තැන “පොඩ්ඩක් ඉන්න යන්න එපා තියන ප්‍රශ්න කියන්න. මම විසඳලා දෙන්නම්” කියල ආයෙම කීවා.

ඒ පාර ඉතින් ආයෙමත් සිනමා කස්ටිය තමන් ගෙනා තොරතුරු ඇමැතිට කියන්න පටන් ගත්තා... මෙහෙම කියාගෙන කියාගෙන යනකොට ආයෙමත් ඇමැතිට නින්ද ගියා... ඒක දැකපු බයිස්කොප් කස්ටියට මල පැන්න... මල පැනල මේක සාකච්ඡාවක් නෙවේ විකාරයක් කියලා පුටු පස්සට දාල යන්න නැගිට්ටා...

ඔන්න එයාල නැගිටිනකොට අයෙමත් ඇමැතිත් නැගිට්ටා. “මොකද්ද මෙයලා කියාගෙන ආවෙ” ඇමැති නිදිමතේම ඇහුව... බයිස්කෝප් කස්ටිය මල පිටම “මෙහෙම නම් ඒව කියල වැඩක් නැහැනේ... කියල පොඩි සද්දයක් දැම්මට ඇමැතිතුමත් ඒ කතාවට පෝර පාරක් දමමින් “ඔව්... ඔව්... මේව කියනවට වඩා හොඳයි ලියලම දෙන එක...” පස්සෙ වෙලාවක ප්‍රශ්න ටික ලියල දෙන්නකො. එතකොට මම ටක් ගාල විසඳල දෙන්නම්...” කියමින් සිංහල සිනමාවෙ ප්‍රශ්න විසඳන සාකච්ඡාව හමාර කළා...

මලපැනපු සිනමා කස්ටිය ඇමැති තැනගෙ වැඩිහිටියො මතක් කර කර ආපසු යන්න ගියා. ඇමැතිතුමා වැනි වැනි කාමරේට වැදුණා...

හැබැයි එකක් කියන්න ඕන මේ සිනමාකරුවෝ ඉස්සරහ නිදාගත්තෙ නිදාගන්න ප්‍රසිද්ධ ඇමැතිතුමා නම් නොවෙයි. උන්නැහේ හොඳ නීතිකාරය ඒ වගේම ඡන්ද අරවමේව කල්දාන්නත් සූරය... සෙල්ලමටත් බරයි...