2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

බයවෙන්න එපා හිනාවෙන්න

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 620

රටේ ලොකුමහත්තයයි හිටපු ලොකු තැනයි දෙන්න පසුගියදාක රහසෙ හමුවීමේ පුවත කොළඹ දේශපාලන අංශ කලඹන්න පටන් ගත්තම ආණ්ඩුවෙ ජ්‍යෙෂ්ඨතම ඇමැති සයිස් මහත්තයෙක් මේ ගැන අලි පාටියේ ලොකු මහත්තයා දැනුම්වත් කරන්න තීන්දු කළා...

එතකොට අලි පාටියෙ ලොකු මහත්තයා හිටියෙ පිටරට ඉතින් අපේ ඇමැතිතුමා උන්නැහේට කෙලින්ම කතා නොකර එයාගෙ කණ්ඩායමේ හිටිය තවත් ජ්‍යෙෂ්ඨ දේශපාලුතුමෙකුට දුරකතනයෙන් කතා කරල පරණ ලොක්කගෙයි - වත්මන් ලොක්කගෙයි රහස් හමුව ගැන දන්න කියන තොරතුරැ සේරම කිව්වලු...

ඊට පස්සෙ ඉක්මනින් මේ ගැන මොනව හරි කරන්න වෙයි... නැත්නම් වැඩේ අලවෙයි කියලත් දන්වලා...

ඒ කතාවට සවන් දුන්න පිටරට හිටපු දේශපාලන ලොක්ක හක හක ගාල මහ හඬින් හිනාවෙන්න ගත්තලු. තමන් මෙච්චර වැදගත් තොරතුරක් දුන්නම ඒක ලොක්කට කියල පියවරක් ගන්නෙ නැතුව හිනාවීම ගැන ලංකාවෙන් කතා කළ ඇමැතිට කේන්ති ගියා. ඒ පාර එයා කේන්ති පිටම අනිත් පැත්තෙ ටෙලිෆෝන් එකේ හිටපු ලොක්කගෙන් මෙහෙම ඇහුව “ඔයා මේක ජෝක් එකට ගත්තද...? අයිසේ වැඩේ ටිකක් සීරියස් ගන්නවා...

එහෙම කියලා ලංකාවෙන් කතා කළ ඇමැති ආයෙම කිව්වම රට හිටපු දේශපාලන ලොක්ක නැවත මහ හඬින් සිනාසෙමින් මෙහෙම කිව්වලු...

ගණන් ගන්න එපා යාලුව ගණන් ගන්න එපා... ඕක සීරියස් නැහැ... අපේ සමහරැ උදේ කියන එක නෙවෙයි රෑට කියන්නෙ... රෑට කියන එක නෙවෙයි උදේට කියන්නෙ... ඉතින් මේකටත් වෙන්නෙ ඒකමයි. ඒ නිසා ඕක අධෝ වාතයක් තරමටවත් ගණන් ගන්න එපා... ඕකට බයවෙන්න නෙවෙයි තියෙන්නෙ හිනාවෙන්න...