2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා

පාර වැරදුණු තේ කෝප්පය

 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1043

රටේ ලොකු මහත්තයා පසුගියදාක ගිරුවායෙ මැදමුලනට ගියේ හිටපු ලොකු තැනගෙ සහෝදරයගෙ අවමඟුලටයි... ලොකු සෙනගක් අමුත්තො රැසක් ඒ වෙනකොට මැදමුලනට රුස්වෙලා හිටියා... හිටපු ලොකු තැනත් හිටපු කතානායක උන්නැහෙන් ලොකු මහත්තයා හරිසරින් පිළිගත්තා...

දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පස්සෙ එතන සකසා තිබූ විශේෂ අමුත්තන්ගෙ කුටියෙදි මේ පැරැණි මිත්‍රයො ආගිය දේශපාලන කතා කියමින් සුහද පිළිසඳරේ යෙදෙද්දි හිටපු ලොකු තැන රටේ ලොකු මහත්තයට ආරාධනා කළේ තේ කෝප්පයක් පානය කරන්නයි...

හැබැයි ආරක්ෂක වත්පිළිවෙත් අනුව රටේ ලොකු මහත්තය කොහේගියත් තේ පානය කරන්නෙ උන්නැහේගෙ ආරක්ෂක අංශය විසින් ඒවා සැපයුවොත් පමණයි...

ඉතින් රටේ ලොකු මහත්තයා තේ පානය සඳහා සූදානම් වෙනකොට සිරිත් පරිදි උන්නැහේගෙ ආරක්ෂක අංශයෙ උදවිය තමන් විසින් ගෙනයන උපකරණවලින් තේ කෝප්පය පිළියෙල කළා. එහෙම පිළියෙළ කරපු තේ කෝප්පය ආරක්ෂක මහත්තයෙක්ම එතැනට ගේනඑක හොඳ මදි නිසා මැදමුලන ගෙදර ආවතේව භාරව සිටි ස්වේච්ඡා සේවකයකුට ආරක්ෂක අංශය ඉදිරිපිටදි භාරදුන්නෙ මේ තේඑක ජනාධිපතිතුමාට දෙන්න කියමින්ලු...

ඒ පාර මේ තරුණයා අලංකාර බන්දේසියක තියාපු තේ කෝප්පය ගෙනල්ලා බොහොම ගරුසරු ඇති එකපාරටම පිරිනැමුවෙ හිටපු ලොකු මහත්තයගෙ අතටයි...

වැඩේ අප්සෙට් වුණ බව තේරුණ හිටපු ලොකු තැන රටේ ලොකු මහත්තයට හදාපු තේ කෝප්පය බොන්නෙ නැතුව පැත්තකින් තිබ්බලු...

මෙතන වෙච්ච ජරමරය දැකලා සිනාහුණු රටේ ලොකු මහත්තයා... ඒ අසල අනෙක් අමුත්තන්ට තේ හදමින් සිටි කෙනෙකුගෙන් තේ එකක් ඉල්ලලා පානය කළේ කිසිවක් නොවුණු ගාණටයි...

ඒ හුටපටේ නිසා අපහසුතාවයට පත්වුණේ රටේ ලොකු මහත්තයට තේ සැපයීම භාර ආරක්ෂක අංශයේ නිලධාරි... උන්නැහේලා අන්තිමේදි තේ පිරිනැමුව ගමේ තරැණයා අල්ලගෙන මේ කරපු අලකලංචිය ගැන ආරක්ෂක ප්‍රකාශයකුත් සටහන් කරගත්තලු...

එතෙන්දි ආරක්ෂක ප්‍රධානීන් තරුණයගෙන් ප්‍රශ්න කළේ ලොකුමහත්තයට දෙන්න කියාපු තේ එක උන්නැහේට නොදුන්නෙ ඇයි කියලයි... එතකොට අර තරැණයා දුන්නෙ මේ වගේ උත්තරයක්ලු...

මහත්තයල දැක්කෙ නැත්ද... මට කිව්වෙ තේ එක ලොකු මහත්තයට දෙන්න කියලා... ඉතින් මම ඒක අපේ ලොකු මහත්තයට දුන්නා. ඒක වැරදිද? අපි ලොකු මහත්තයා කියන්නෙ උන්නැහේටයි...

තරැණයගෙ මේ උත්තරෙන් පස්සෙ එයාගෙන් තවත් ප්‍රශ්න කරලා වැඩක් නැහැ කියලා තීන්දු කරපු ආරක්ෂක මහත්තුරු යන්න ගියා. 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00