2018 අගෝස්තු 04 වන සෙනසුරාදා

රියැදුරු අපලය

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 755

යහපාලන ආණ්ඩුවෙ නිතරම ඝෝෂා කරන ඇමැති සයිස් උන්නැහේ කෙනෙක් ඉන්නව.... රටේ හුඟක් ලොකු පුටුවල ඉඳපු මෙයා එකපාරක් ඉහළම පුටුවට නැගගන්නත් සටනක් දීපු කෙනෙක් කීවොත් නිවැරදියි....

තමන්ගෙ කන්තෝරුවෙත් තමන්ගෙ සේවක මණ්ඩලයෙනුත් නූලට තිතට වැඩකරවා ගන්න බලාගෙන ඉන්න මුන්නැහේට පොඩි වරදක්වත් පේන්න බැරිලු. යමෙක් වරදක් කළොත් එයා නටන්නෙ හතර මායිමේවත් තියාගන්නෙ නැති එක මෙතුමාගෙ තවත් ප්‍රතිපත්තියක්....

කොහොමින් කොහොම හරි මෙතුමාගෙ මේ පිළිවෙත නිසා හුඟක් ළඟින් වැඩකරන අය නිතරම ඉන්නෙ සීරැවෙන් කියලයි ආරංචි.... එතුමා කියන විදියට සීරුමාරුවෙන් වැඩකරගන්න බැරිවුණොත් කෙළින්ම යන්න වෙන්නෙ ගෙදරලු....

මෙතුමගෙ මේ වැඩපිළිවෙළ නිසා වැඩියෙන්ම අප්සෙට් වෙලා ඉන්නෙ උන්නැහේට සේවය කරන රියැදුරු මහත්තුරුලු. කොපමණ හොඳට වැඩ කළත් පොඩ්ඩක් වැරදුණොත් සේරම ඉවරයි කියලයි රියැදුරෝ කියන්නෙ. මේ විදියෙ පොඩි අත්වැරදීම් වෙලා ගතවුණ අවුරුදු තුනට රියැදුරෝ 67 දෙනෙක් විතර යන්න ගියා කියලා ආරංචියි.... අනවශ්‍ය ලෙස වාහනය සෙලවීම, ගැස්සීම හදිසියේ බ්‍රේක් ගැසීම වගේ දේවල් නිසාලු හුඟ දෙනෙකුට යන්න වුණේ. 67 වෙනියත් ගියාට පස්සෙ අලුතෙන් කෙනෙක් මේ කන්තෝරුවට එන්නත් බයයි කියලා ආරංචියි.