2018 ජුලි 21 වන සෙනසුරාදා

කැත්තට පොල්ල

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 583

මැංගුස් හැදෙන පළතෙන් බිහිවුණ ඒකාබද්දෙ ජ්‍යෙෂ්ඨකමක් තියන එක්තරා දේශපාලුතුමෙක් මේ දවස්වල අති සීග්‍රයෙන් එතැනින් කැපීගෙන යන බව ආරංචියි...

ඊළඟ ජනාධිපති අපේක්ෂකයෙක් ගැන ඒකාබද්දෙ ලොක්කො තවම මුකුත් කියලත් නැතිකොට... දූෂමාන ආරංචියකින් කියැවුණ හිටපු ආරක්ෂක ලේකම් තැනට විරුද්ධව නොයෙක් කතා කීම නිසායි මුන්නැහේට කොක්ක වැටිලා තියෙන්නෙ... ඉතින් මෙයාගෙ කතන්දරවලින් වෙන හානිය ගැන 16 දෙනාගෙ කණ්ඩායමේ ඉන්න අයත් සෑහෙන්න කලබොලවෙලා හිටපු ලොකුතැනට පැමිණිල්ලකුත් කරලලු...

පසුගිය කාලෙ තමන් නියෝජනේ කරන දිසාවෙන් මුන්නැහේ ඈත පළාතකට ගියේ තමන්ගෙ පවුලෙම කෙනෙක් එයාගෙ දිස්තිරික්කෙට දාන්න හිතාගෙනලු.

ඉතින් එහෙම කරන කෙනා අනුන්ගෙ පවුල්වාද ගැන කතා කරන්න යාම ප්‍රශ්නගතයි නේද කියල ඒකාබද්දෙ මැංගුස් දිස්ත්‍රික්කෙ කිට්ටුව ඉන්න තවත් කටකාරයෙක් ලොකු තැනට “කම්පේලේන්” එකක් දැම්මලු.

මේ හුටපට අල වේගෙන ගියොත් දැනට ඈත පළාතක ඉන්න මුන්නැහේ නැවතත් හිටපු තැනටම ගේන්නත් ඉඩතියන බව කියවෙනවා.

උන්නැහේ ඔය කියන පළාතෙන් ආවොත් එතැනට මීගමු පැත්තෙන් කෙනෙක් යවන්නලු සැලසුම... එහෙම වුණොත් ඌවට ඒකාබද්දෙන් නිමල්ලම දෙන්නෙක් වෙනවා...