2018 ජුනි 16 වන සෙනසුරාදා

මරික්ස්ගෙ ඇමතුම

 2018 ජුනි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 506

උප ඇමැතිකම් රාජ්‍ය මට්ටමේ ඇමැතිකම් දෙන්න අලි පාටියෙ ලොකු මහත්තුරු තීරණය කරල ඒ සඳහා සුදුසු නම් හය හතක් තෝරාගත්තා දැන් සුමාන දෙක තුනකට කලින්... පක්ෂ මහ ලේකම්තුමා ඒ ගැන විමර්ශනේ කරලා සුදුස්සෝ ලැයිස්තුගත කළාලු. ජ්‍යෙෂ්ඨකම හැකියාව සහ පසුගිය කාලයේ ප්‍රගතියක් පෙන්නූ උන්නැහේලගෙ නම් ගම් ගණනාවක් තමයි මේ පට්ටම් ලැයිස්තුවට වැටුණේ.

ඉතින් ඔය විදියට ලැයිස්තුව හදලා තියෙද්දි අලි පාටියෙ ලොකු මහත්තය රට යන්න කලින් උන්නැහේට දුරකතන ඇමතුමක් ආවලු... ඒක දුන්නෙ කොළඹ දිසාවෙ මරික්ස් මන්තිරි තැන කියලයි ආරංචි... මරික්ස් කතා කළේ ටිකක් හිතේ අමාරුවෙන් වගේ කියනව. මොකද තමන් පසුගිය කාලෙ ඉතාම අමාරු ආසනයක් වැඩිම ඡන්ද ගණනකින් දිනල. පුංචි ඡන්දෙන් හුඟක් තැන් හේදිලාම යද්දි තමන්ගෙ ඡන්ද බලප්‍රදේශෙ හැම කොට්ඨාසෙම දිනා දීලත් තමන් නොසලකා හැරීම ගැනයි එයා පැමිණිලි කළේ.

කුණුකඳු කඩාවැටිල ගංවතුර උතුරලා ආසනේ විනාශ වෙලා තියෙද්දිත් මේ විදියට තමන්ගෙ දක්ෂකමින් ඡන්දෙ දිනුවට උප ඇමැති ලැයිස්තුවෙ ඒ වගේ අය නැතිවීම ගැන මරික්ස් ලොකු මහත්තයට සංවේගයෙන් කනගාටුව පළ කරල එහෙම කළේ ඇයි කියල ප්‍රශ්න කළාලු... එතකොට තවම අන්තිම තීන්දුව අරන් හමාර නැතැයි කියා උත්තර දුන් ලොකු මහත්තයා දක්ෂයාට සාධාරණය ඉටුකරන බවත් මතක් කළාලු... ඒත් උප ඇමැති දිව්රුම් දීමෙදි මරික්ස්ට ආරාධනාවක් තිබුණෙ නැති බව හැමෝම දන්නව. ඒ වුණත් මරික්ස් ඒ ගැන ආයෙමත් සොයන්න ගියේ නැතිලු.