2018 ජුනි 02 වන සෙනසුරාදා

මෝනාලීසා

 2018 ජුනි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1043

ආණ්ඩුවෙ ඉන්න එක්තරා කටකාර ඇමැතිතුමෙක් පසුගිය දවසක අපූරු කතාවක් කිව්වලු... බොහොම ඈත දුෂ්කර පළාතක් නියෝජනය කරන මුන්නැහේ ගිය ඡන්දෙන් සළුවුණේ නැතත් ජාතික ලැයිස්තුවෙන් ඇතුළට ආපු කෙනෙක්....

පළාත් සභාවෙන් මහ ආණ්ඩුවට ආපු මුන්නැහේ ඒ දවස්වල යහපාලනේ පතාක යෝධයෙක් වගේ හිටපු චරිතයක්... මෙතුමා නියෝජනේ කරන්නෙ අත පාටිය කිව්වොත් හරි....

මුන්නැහේ කටකාර මුඛරි පොරක් වගේම රටේ ලොකු ලොක්කො ගැන ප්‍රසිද්ධියෙ වගේම අප්‍රසිද්ධියෙත් නොයෙක් මතක හිටින රස කතා කියන කෙනෙක්.

පසුගිය කාලෙ හිටපු ලොකු තැන ගැන මෙයා කරපු කතාවක් කොච්චර ප්‍රසිද්ධ වුණාද කිව්වොත් අදත් සමහරැ මුන්නැහේ කියාපු ඒ කතාවෙ කෑල්ලකින් මෙයාව හඳුන්වන අවස්ථාත් තියෙනවා...

ඉතින් ඔන්න මුන්නැහේ මේ මෑතක අප්‍රසිද්ධියේ තවත් ඒ වගේ කතාවක් කියලා... ඒක කියල තියෙන්නෙ මේ ආණ්ඩුවෙ ඉහළම තනතුරක් දරන කෙනෙක් ගැනයි...

මෙතුමා කියපු විදියට ඒ තැනැත්තා හරියට සුප්‍රකට මෝනාලීසා චිත්‍රය වගේ සංකීර්ණ චරිතයක්ලු...

චිත්‍රය දිහා බැලුවම ඒකෙ ඉන්න කාන්තාව අඬනවද හිනාවෙනවද ඉන්නෙ තරහින්ද සතුටින්ද කියලා හිතාගන්න බැරි තරම් තේරැම් රැසක් මුහුණෙ තියෙන බව කියපු ඇමැති තැන ආණ්ඩුවෙ ඉන්න අසවලත් ඒ වගේය කියල හිතෙන බව කීවෙ විහිළුවට වගේ.
විහිළුවෙන් වුණත් ඇස් රතුවෙන වෙලාවල් තියෙනවා... ඒ වගේම නරක කාලෙට මෝල්ගසුත් පත්තුවෙනව කියනවනේ... ඉතින් ඔය මෝනාලීසා කතාව අහන් ඉඳපු තමන්ගෙම දේශපාලන සගයෙක් ගිහිල්ල කතාවෙන් හඳුන්වපු ලොක්කට ඕක රහසෙම දැනුම් දුන්නා.

උන්නැහේට ඒක අහල ටිකක් කේන්ති ගියත් ඒක නොපෙන්වා නිහඬව හිටියලු... ඊට ටික දවසකට පස්සෙ වෙච්ච කැබිනට් සංශෝධනේදි අර කතා කාරයගෙ විෂය මාරැවුණා... උන්නැහේ එපැයි කිය කියා හිටපු විෂයක් බාරව ක්‍රියා කරන්න එයාට නියම වුණා... ඔන්න එතකොටයි උන්නැහේට තේරැණේ මේක කළේ මෝනාලීසා කියලා.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00