2018 මැයි 12 වන සෙනසුරාදා

ටෙන්ඩර් අණ්ඩර නැහැ ලාභයි ලාභයි...

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 482

උඩ ගමන්වලට ප්‍රසිද්ධ එක්තරා තොටුපොළක බදු නැතුව බඩු විකුණන කඩවල් හැත්තෑ ගණනක් විතර තියනවලු... මේක රටට ලොකුම ආදායම් මාර්ගයක්... ඒත් සමහර දේශපාලන ලොක්කො මේක තමන්ගෙ ආදායම් මාර්ගයක් කරගෙනය කියල ලොකු කතාවක් ගියා...

මේ ආදායම් වාසනාව පෑදිලා තියෙන්නෙ බලවත් දේශපාලන ලොක්කකුටලු. ඒ ගැන සම්පූර්ණ විස්තරේ පසුගිය දවසක රටේ ලොකු මහත්තයටත් වාර්තාවෙලා...

මෙතන තියෙන බදු නැතුව බඩු විකුණන කඩවල්වල ටෙන්ඩරේ කාලෙන් කාලෙට දික්කරන්න ඕනෑ...

ඉතින් පහුගියදාක මෙහෙම කාලෙ දික්කරන දිනය උදාවුණා කියමුකො... ඔන්න ඒ පාර ටෙන්ඩර අණ්ඩර මොකුත් නැතුව බදු කාලෙ දික්කරගන්න නම් එක කඩේකින් අච්චර මෙච්චර ලැබෙන්න ඕන කියල කඩහිමියන්ට එක්තරා කැචර් කෙනෙක් පණිවුඩේ දුන්න... අපට ආරංචි විදියට ඉල්ලුවෙ එක කඩේකින් දස ලස්සයක් වගේ පොඩි ගණනක්ලු... හැබැයි ඉතින් කඩ හැත්තෑ ගණනකින් ඒ වගේ හැත්තෑ ගණනක් ලැබෙනව. කඩවලින් ලැබෙන ආදායමේ හැටියට ඒ ගණන ටෙන්ඩර දාල සටන් කරනවට වඩා ලාභයි. 

අන්තිමේ සේරම කඩවලින් ඔය විදියට කාරණාව ඉෂ්ඨ වුණා. පැයකින් ටෙන්ඩර් නැතුව කඩවල්වල බදු කාලෙ දික්කරන ලියුං කියුං අස්සන් කළා. ඒ වගේම අර දේසපාලුතුමාටත් ලල්ල..ලලා... වුණා...

එදාම හවස මේ කතාව රටේ ලොකුම මන්දිරේටත් වාර්තා වුණා... ඒත් මේ බලවත් මහත දෙහෙත දේසපාලුතුමාට කිසිම දෙයක් සිදුවුණේ නැහැ.