2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා

රතිඤ්ඤයක් ගිය දුර

 2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 592

ආණ්ඩුවෙ ඉන්න අත පාටියෙ ලොක්කො හුඟදෙනෙක් විපක්ෂයෙ අසුන් ගන්න කැමැත්ත පළ කළා. ඒ සමඟ හිටපු ලොකු තැන එක්ක පයිරු පාසනයක් ඇතිකරගන්නත් සූදානම්ලු.

ඒත් මේකට තදින්ම විරුද්ධ එක්තරා ලොකුම ලේකම් සයිස් මහත්තයෙක් පරණ ලොකු මහත්තය ඉන්න පැත්තෙවත් යන්නෙ නැහැ කියල ගෝරනාඩු කරනවලු.

ඉතින් උන්නැහේ හිටපු ලොකු තැනගෙ ගම් පළාතම නියෝජනය කරන වීරයෙක් නිසා පක්ෂයෙ අනිත් අය එයාගෙන් අහන්න පටන් ගත්ත මොකද්ද මේ කෝන්තරේට හේතුව කියල. එතකොට උන්නැහේ මේ අප්සෙට් එකට ආසන්නම හේතුව කිව්වලු...

දැන් බලන්න මම මේ සන්ධානෙ අහවලා... (තනතුර සඳහන් කරයි) එහෙව් එකේ හිටපු ලොක්කගෙ ගෝලයො ඡන්දෙ ප්‍රතිඵල ආපු ගමන් රතිඤ්ඤ පත්තු කරල අපේ ගෙදර මිදුලට දැම්මා... ඒ විදියට එයාල මම පාච්චල් කරන්නයි හැදුවෙ. ඒ නිසා මම නම් ඔය මිනිස්සු එක්ක කවදාවත් යන්නෙ නැහැ...

අත පාටියෙ ජ්‍යෙෂ්ඨ ඇමැතිතුමා තමන් තීන්දුව ගත්ත විදිය ප්‍රකාශ කළේ එහෙමයි.