2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

උන්නැහේ රෑ කඩේ

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1208

බලවත් ‍දේශපාලකතුමෙක් ළියගොඩ පැත්තෙ රෑ කඩේකට නිතර නිතර යනවය කියලා දියවන්නා කවුන්සිල් ලොබියෙ රස කතාවක් කියැවුණා.

නිමල හදින් දේශපාලනේ යෙදෙන මුන්නැහේ නිතරම ඒ පාරෙන් තමන්ගෙ ඡන්ද කොට්ඨාසෙට යනව එනව. ආරක්ෂක සෙබලා කස්ටියටත් පැත්තකින් ඉන්න කියලා “රෑ කඩේට” යන උන්නැහේ කාලා බීලා ආයෙමත් එළිබහින්නෙ සෑහෙන වෙලාවකින්. මේ විදියට ඇහැළියගොඩින් කෑම කාලා හෙමින් හෙමින් කඳු නැගලා පල්ලම් බැහැලා ගිහිල්ලා ඊළඟට නවතින්නේ හපුතලේ පැත්තෙලු...

හපුතලෙන් කෙටි කෑම අනුභව කරන මුන්නැහේ ඊළඟට යන්නෙ තමන්ගෙ නවාතැන්පොළටලු.

මේ කතාව සරල සාමාන්‍ය එකක් වුණාට මේකට සම්බන්ධ රසවත් අතුරු කතා ගොඩක් තියනවා කියලයි ලොබියෙදි කියැවු‍ණේ. ඒ කතාවලින් හෙළිදරව් වුණ රස කෑලි කවුන්සිල් කස්ටිය තලු මර මර කියනකොට අපි කියන මේ කතානායකයා හෙමින් හෙමින් ඒ පැත්තට ගාටනවා පෙනුණා. 

“මොකද මල්ලිල-ත මෙතන කරන්නෙ... රස කතාවක් කිය කියා හිනාවෙනවා වගෙයි-ත” කියලා උන්නැහේ කියනකොට එතන හිටපු තරුණ කවුන්සිල් මැම්බර්ලට තවත් හිනා... ඒ හිනා හඬ වැඩි වෙනකොට “අපි යන්නම්-ත” කියාපු බලවතා හෙමින් හෙමින් යන්න ගියා.. උන්නැහේ තාමත් දන්නෙ නැහැ ලොබි සගයො ටික හිනාවුණේ උන්නැහේට කියලා.