2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

උත්තරේ සැරයි

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 550

වෙබ් අඩවිවලට කොකු දැමීම ගැන හිත රිදුණු අලි පාටියෙන් පත්වුණ ආණ්ඩුවෙ ඇමැති සයිස් මහත්තයෙක් මේ ගැන රටේ ලොකු මහත්තයා එක්ක අදහස් හුවමාරු කරගත්තා කියලා ආරංචියි...

රට ඩිජිටල් කරන්න යන මේ ගමනේදි කාලයක් තමන්ට උදව් පදව් කරපු අයට මෙහෙම කරන්න හොඳ නැහැ කියන එකයි මේ ඇමැති තැනගෙ තර්කය වුණේ...

ඇමැති තැනගෙ කතාව නිහඬවම වගේ අහන් හිටපු ලොකු මහත්තයට තරමක් කේන්ති ගියා... වෙබ් අඩවි හොඳවුණත් තමන්ටත් තමන්ගෙ පවුලෙ උදවියටත් එල්ලකරන ප්‍රහාරවලට කවුරුත් මොකුත් නොකියන්නෙ මොකද කියලා උන්නැහේ ප්‍රශ්න කරල... හිටපු ලොකු තැනට දාපු සෙල්ලම් තමන් එක්ක අමාරුයි කියලත් මතක් කළාලු. මේව කරන්නෙ කව්ද කියල දන්න බවත් ලොකු මහත්තයා කීවලු.

ලොකු මහත්තයගෙ මේ සැර කතාවෙන් පස්සෙ තමන් කියන්න හිතාගෙන ආපු කතාවෙ ඉතුරැටික නොකියා ඇමැති තැන බදුල්ල පැත්තට පසුබැස්ස කියලා තතුදත් උදවිය කියනවා.