2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා

උන්නැහේ තීන්දුවක් අරන්!

 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1140

දියවන්නා කවුන්සිලේ ලොබියෙ නොයෙක් රස කතා වගේම රාජ්‍ය රහසුත් කියැවෙනවා. හැබැයි මේව පැතිරෙන්නෙ බොහොම සරල සැහැල්ලු කතන්දර විදියටයි.

මේ සතියෙ දවසක රටේ පවතින දේශපාලන ප්‍රශ්න ගැන ඇතිවුණ කතාබහක් අපට ලොබියෙදි අහන්න ලැබුණා. අලි පාටියෙයි පුටු පාටියෙයි තියන ගෝරි ගැනයි කතා වුණේ. මේ කතාවට දෙපැත්තෙම පසුපෙළ උදවිය කිහිපදෙනෙක් දායක වෙමින් සිටියා.
මෙතෙන්දි ආණ්ඩුවෙ ඉන්න ජ්‍යෙෂ්ඨ ඇමැති කෙනෙක් ගැන කතාවක් මතු වුණා. උන්නැහේ විසිපස් අවුරුද්දකට වඩා කවුන්සිලේ හිටපු අදටත් ඇමැතිකමක් කරන නිතර ගංවතුරට අහුවෙන ඈත පළාතකින් පත්වුණ මහත්තයෙක්...

පසුගිය කාලෙ පුටු පාටියෙ සමගියට නොයෙක් කපුකම් කළත් තවමත් හරිහමන් ප්‍රතිඵලයක් නැති එක ගැන දුකෙන් ඉන්න කෙනෙක් කීවොත් නිවැරදියි.

මුන්නැහේට තමන්ගෙ ගෙදරින් පසුගිය කාලෙ පුරාම උපදෙස් ලැබුණේ දැන් ආණ්ඩුවෙ හිටිය ඇති. ඉක්මනින් ගිහිල්ල හිටපු ලොකු තැන ළඟ සැට්වෙන්න තැත්නම් වැඩේ අමාරුයි කියලලු. නමුත් ඒ කතාව නොපිළිගෙන දෙපැත්තම බේරගන්න ආසයි බයයි ප්‍රතිපත්තිය අනුගමනය කළ එතුමා ඔන්න දැන් තීරණයක් අරන් කියල පසුපෙළ සගයන්ට ආරංචි වෙලා...

ඒ අනුව මේ ජ්‍යෙෂ්ඨ ඇමැතිතැන තමන්ගෙ දේශපාලන අනාගතේ ගැන ගත්ත තීන්දුව උන්නැහේගෙ ගෙදරට දැන්නුව කියලයි දැනගන්න තියෙන්නෙ...

ලැබුණු තොරතුරුවල හැටියට පුංචි ඡන්දයට නම් දෙන දවස නියම කළ ගමන් උන්නැහේ ඉන්න තැනින් මාරු වෙනවලු. උන්නැහේ පිටිපස්සෙන් තවත් ඒ මට්ටමේම අය එක්කෙනෙක් දෙන්නෙක් කල්බලමින් ඉන්න බවත් කියැවුණා.

මේ කියන වැඩේට තවත් වැඩිකල් නැති නිසා අපි බලන් ඉමු කියල දියවන්නා සගයෝ ලොබියේදි කතා වුණාලු.