2017 ජුනි 24 වන සෙනසුරාදා

ඇදගෙන නෑම

 2017 ජුනි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1149

හිටපු ලොකු තැනට පසුගියදාක පකිස් දේශයෙන් ආරාධනාවක් ලැබුණා. ඒ රටට එන්න කියලා... එයාලා උන්නැහේට එන්න කීවෙ තමන්ගෙ රටේ තියන උසස්ම ආරක්ෂක විද්‍යාලෙ ඉන්න ජ්‍යෙෂ්ඨතම හමුදා ලොක්කන්ට දේශනයක් කරන්න කියලයි.

සිරිලංකාවෙ කොටි උවදුර නවත්වන්න කරපු මෙහෙයුම ගැනයි දේශනය පවත්වන්න තිබුණෙ... ඉතින් කාරණා කාරණා හොයලා හිටපු ලොකු තැන දේශනයට සූදානම් වෙමින් ඉන්න කොට තානාපති අංසෙන් ආරංචියක් ආව උන්නැහේගේ පකිස් දේශ චාරිකාවට ආණ්ඩුව පැත්තෙන් බාල්දියක් පෙරළන්න හදනවය කියලා. කොළඹ මේ දවස්වල වැඩ බලන පකිස් තානාපතිතුමාට කතා පරපු ආණ්ඩුවෙ ඇමැති සයිස් ලොක්කෙක් මේ ගැන විරෝධය පළකරන්න යනකොට විදේශ රටකට ඔය විදියට බලපෑම් කරන්න හොඳ නැහැ කියලා තතු දත් අයගෙන් උපදෙස් ලැබුණා.

තතු දත්අයට වඩා තමන් සියල්ල දත් කියලා හිතාගෙන ඉන්න දේසපාලුතුමා තානාපති තැනට කතා කරලා මේ වැඩේ නම් කරන්න එපා කියලා කිව්වා... ඒක අපේ රටේ දැන් ඉන්න ලොකු ලොක්කන්ට කරන නොසැලකිල්ලක් වගේ පේන නිසා හිටපු ලොක්කගෙ පකිස් ගමන නොකෙරෙනවා නම් සතුටුයි කියලත් කිව්වලු.

දේසපාලුතුමාගෙ මේ රාජ්‍යතාන්ත්‍රික නොවන ඉල්ලීමට කන් දුන් පළපුරුදු තානාපති නිලධාරිතුමා මෙහෙම උත්තර දුන්නලු. මේක අපේ රටේ ඉහළින් ආපු ඉල්ලීමක් දැන් ඒ ගැන කරන්න දෙයක් නැහැ. මට මේ ගමන නවත්තන්න අමාරුයි. බොහොම කනගාටුයි...

තානාපති නිලධාරිතුමාගෙ උත්තරෙන් දේසපාලුතුමා කෝපවුණා. ඒත් තානාපති කෙනෙක් හින්දා මොනවා කරන්නද කොහොම හරි මේ කතාවෙන් දවස් දෙකකට පස්සෙ හිටපු ලොකු තැන පකිස් දේසෙ දේශනයට පිටත් වුණා.