2017 මැයි 27 වන සෙනසුරාදා

“හූව” පිටිපස්සෙ හිටියෙ කවුද?

 2017 මැයි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 430

පසුගියදාක උතුරෙ හිටපු කොටි නායකයගෙ ගමේ සමරුවක් තිබුණලු. ඒක තිබ්බෙ යුද්දෙ කාලෙ මියගිය උතුරෙ අය සමරන්න කියලයි ප්‍රසිද්ධ කරල තිබු‍ණෙ... විපස්සෙට නායකත්වය දෙන මහත්තයයි උතුරෙ ලොකු ඇමැති තැනයි තවත් අමුත්තො කස්ටියකුයි මේ උත්සවේට ආරාධනා ලබලා තිබුණලු...

ඉතින් දේශපාලනේ කරලම වියපත් වූ රටේ විපස්ස නායක තැන මෙතැන සිටපු ජනතාව අමතා මුලින්ම කතා කරන්න ගත්තා...  කතාව පටන් අරන් විනාඩි ගණනක් යනකොට එතන හිටපු කස්ටියක් මහ හඬින් උන්නැහේගෙන් ප්‍රශ්න අහන්න ගත්තලු...

ඒ අස්සෙ තවත් පිරිසක් ඝෝෂා කරන්නයි හූ හඬ නංවන්නයි පටන් ගත්ත කියල කියනව... ඒ වගේ දේවල් දේසපාලනේට අරුමයක් නොවන නිසා විපස්ස නායක තැන කොහොම හරි අමාරුවෙන් තැනට ගැලපෙන කතාවක් කරගෙන ගියාලු. ඒත් සමහරුන්ගෙ සද්ද බද්ද නම් දිගටම තිබුණ කියල ආරංචියි. උන්නැහේගෙ කතාවෙන් පස්සෙ උතුරෙ ලොකු ඇමැති තැන කතා කරනව කියල නිවේදනේ කළා...

ඔන්න බොලේ ඒ පාර එතන හිටපු කාන්තාවො තරුණයො උන්නැහේ ළඟට ඇවිත් වැඳවැටෙන්නයි දෙපා සිඹින්නයි පටන් ගත්ත. කර මතින් උත්සව වේදිකාවට ගෙනියන්න හදමින් ලොකු පිළිගැනීමකුත් ලබාදුන්න... වේදිකාවෙ හිටපු මැති ඇමැතිගොල්ල මේ නාට්‍ය දිහා හොඳට ඇස් ඇරගෙන බලා හිටිය.

ඊටපස්සෙ එතන හිටපු එක මන්තිරි සයිස් මහත්තයෙක් විපස්ස නායක තැනගෙ කනට කරල උන්නැහේට “හූ” කියව්වෙ කවුද කියල හෙළිදරව්වකුත් කළාලු. ඊටපස්සෙ එතන ලොකු කසකුසුවක් ගියා කියල ආරංචියි. ඒ ලොකු ඇමැති තැනට මින්පස්සෙ උතුරෙ ලොකු ඇමැති අපේස්සකකම නම් ලැබෙන්නෙ නැති විදියටයි කතාව ගියේ...