2021 ජනවාරි 30 වන සෙනසුරාදා

සරණාගත වූ වී.අයි.පී.ලා

 2021 ජනවාරි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 934

ලෝක සරණාගතයො වෙන්නෙ යන්න එන්න ඉන්න හිටින්න තැනක් නැති උදවිය. එයින් සමහරු අසරණකම නිසාම සරණාගත වෙනවා... නමුත් තවත් අය ඕනකමින් සරණාගත වෙන වෙලාවලුත් තියෙනව...

මේ කියන්න යන්නෙ ඒ වගේ කතාවක්... අපිට ඊයෙ පෙරේදා වාර්තා වූ එක්තරා විශේෂ පුවතක සඳහන් වුණේ අපේ රටේ වී.අයි.පී. සයිස් වැදගතුන් දෙන්නෙක් රටවල් දෙකක සරණාගත මට්ටමින් ජීවත්වෙන බවයි.. ඔවුන් සරණාගත වෙලා තියෙන්නෙ වීසා එහෙම නැතුව ඒ රටවල ජීවත්වෙන හින්දලු...

අපි මුලින් කිව්ව මේ දෙන්නම වී.අයි.පී.ල කියල එහෙම කිව්වෙ මේ දෙන්නම ඒ රටවලට ගියේ ලංකාවෙ තානාපතිල හැටියට නිසායි.

හැබැයි එයාල පත් කළේ යහපාලන ආණ්ඩුව. ඒ ආණ්ඩුව වෙනුවෙන් තිරය පිටුපස විශාල වැඩ කොටසක් කළ දෙන්නෙක්ලු මේ තානාපතිල.. එයින් එක්කෙනෙක් අර්බුදකාරී දූෂණ විරෝධී කමිටුවෙත් ලොකු පුටුවක් දැරූ කෙනෙක්ලු...

මේ දෙන්නම ලෝකෙ ප්‍රබලම රටවල් දෙකක තානාපති පට්ටම් තමයි දැරුවෙ... එක්කෙනෙක් කැන්ගරුවන්ට ප්‍රසිද්ධ රටක. අනිත් කෙනා ලෝකෙ මහ බලවතාගෙ රටේ තමයි හිටියෙ.

මේ පත්වීම් දෙකම දේශපාලන පත්වීම්. එක්කෙනෙක් පෙරේ-රා කෙනෙක්. අනිත් කෙනා එක්තරා “අමුණ”කට සම්බන්ධ කළු කෝට් අඳින කෙනෙක්ලු.

අලුත් ආණ්ඩුව මේ අයගෙ ධූර කාලෙ හමාර කරල එන්න නියෝග නිකුත් කළා. ඒත් දෙන්නම මේ රටට ඇවිත් නැහැ. දැන් එයාල ඒ රටේ අවුරුද්දකට වැඩි කාලයක් සරණාගත සයිස් එකෙන් ඉන්නවලු.

මේ ගැන ආණ්ඩුවටත් පැමිණිලි ලැබිල. ඒවයෙන් කියැවෙන්නෙ තානාපතිලත් මෙහෙම කරන්න ගියොත් ඒගොල්ලන්ටත් අනාගතේ වීසා ප්‍රශ්න ඇතිවේවි කියලලු.

කොහොම නමුත් ආණ්ඩුව කියන්නෙ මෙයාල යහපාලන කාලෙ කරපු කියපු දේවල් හින්ද රටට එන්න බැරුව ඉන්න බවයි.