2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා

අනේ මට බැහැ...

 2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 777

ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතින් හා උපන්දිනවලට අගමැතිතුමාගෙ කන්තෝරුවෙදි කේක් කපන එක දැන් සිරිතක් බවට පත්වෙලා... අයවැයේ දෙවැනිවර ඡන්දෙ දවසෙත් මේ වගේ කෙනෙකුගෙ උපන් දිනයක් යෙදිල තිබුණා. උන්නැහේ උතුර පැත්තෙන් ආපු ආචාර්ය මට්ටමේ මන්ත්‍රී කෙනෙක් බවයි කියැවෙන්නෙ. රටේ දෙවැනි මහත්තය වන අගමැතිතුමාගෙ ප්‍රධානත්වයෙන් තිබුණ මේ චාම් උපන්දින සමහරුවට මැති ඇමැති ගොල්ල තිහ හතළිහක් විතර ඇවිත් හිටිය... ඒ අය අතරෙ අලුතෙන් පක්ෂයට එකතුවුණු ලලනාවකුත් හිටිය....

උපන්දින කේක් එක කපල කාටත් කේක් දුන්නට පස්සේ උපන්දින ලාභියාට එක එක්කෙනා එක එක විදියට සුබපැතුව. ආචාර කළා. අතට අත දුන්න. වැළැඳගත්තා. ඔන්න එතෙන්දි අපේ ලලනාවගෙ වාරෙත් උදාවුණා. ඔන්න එතකොටම එතැන හිටපු ජ්‍යෙෂ්ඨයෙක් කිව්ව මන්ත්‍රීතුමිය අතට අත දීල ආචාර කරල හරියන්නෙ නැහැ. එංගලන්තෙ ක්‍රමේට වැළඳගෙන සුබපතන්න කියල...

උපන්දිනලාභී මන්ත්‍රීතුමත් හරි සතුටින් ඒ යෝජනාව භාර අරන් මන්ත්‍රීතුමිය ළඟට පැන්න... එතකොටම ඒ සුන්දර ලලනාව “අනේ මට ඕව බැහැ” කියල සිංහල ක්‍රමේට ආචාර කරල යන්න ගියාලු... ඒක සිද්ධ වුණා නම් තමන්ගෙ ටෙලිෆෝන් කැමරාවෙන් සුන්දර ඡායාරූපයක් ගන්න සැට්වෙලා හිටපු කිහිප දෙනෙක්ගෙ ඉලක්කෙත් ඒ සමගම හබක් වුණාලු.