2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා

සූර් වෙන්න ඕනැලු

 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1094

තෙල් වෙළෙඳාමට සම්බන්ධ ආණ්ඩුවේ කොම්පැණියක් තියෙනවා. ඒක දිවා රාත්‍රී සේවය කරන ඉතා වැදගත් රජයේ ආයතනයක්.

මේ ආයතනේ රාත්‍රී සේවා මුරයේ සේවය කරන ඇතැම් සේවක පිරිස් රාත්‍රී කාලයේ සේවය කරන්නේ ඇඟපත රත්වෙන්න දෙකක් දාගෙනය කියලා පසුගිය දවස්වල ආයතනේ පාලනාධිකාරියට පැමිණිලි පිට පැමිණිලි ලැබුණා...

ඉතින් පාලනාධිකාරියේ ලොකු ලොක්කෝ මේ ගැන රහසින් විමර්ශනයක් කරලා බැලුවා. ඔන්න ඒ පාර කාරණාව ඇත්ත බව සොයාගන්න ලැබුණා.

ඊටපස්සේ පාලනාධිකාරියේ ප්‍රධානීන් මේ ආයතනේ බලය තිබෙන ට්‍රේඩ් යුනියන් ප්‍රධානීන් කස්ටියට එන්න කියලා සුහද කතාවක් දැම්මා..

එතනදි මේ රාත්‍රී පානය ගැන ප්‍රශ්නය මතු වුණා. පාලනාධිකාරිය කිව්වේ රාජකාරි කරන කාලය තුළ අරවා පානය කරලා වැඩ කරන්න බැහැ එහෙම කළොත් විනය පියවර ගන්න වෙනවය කියලයි.

හැබැයි ට්‍රේඩ් යුනියන්වල ප්‍රබලයෝ ගණනාවක් මේ කතාවට එකඟ වුණේ නැහැලු. එයාලගේ ඉල්ලීම කිසිම රාජ්‍ය සේවකයෙක් මෙතෙක් කල් පාලකයකුගෙන් කරපු නැති එකක්. ඒක තමයි අවශ්‍ය අයට රාත්‍රී සේවයේදී සූර් වෙලා වැඩ කරන්න අවසරය තිබිය යුතුයි කියන එක...

දෙකක් දාගෙන රාජ්‍ය ආයතනයක වැඩ කරන්න කිසිම නීතියකින් අවසරයක් නැති නිසා පාලක මණ්ඩලය නැවතත් ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. ඊටපස්සේ ඒ ගැන අසතුටට පත් යුනියන් කස්ටිය හරි අපි ඒක විෂය භාර ඇමැති සමඟ බලාගන්නම් කියලා නැගිටලා ගියාලු.

දැන් එයාලා සූර් වෙලා වැඩ කරන්න අවසරය ඉල්ලන්න ඇමැති තැන හමුවෙන්න යන්න හදනවලු. 

ඇමැති තැනත් මේ කතාව දැනගෙන එයාලා එනකම් බලා ඉන්න බවයි ආරංචි.