පුංචි ඡන්දෙ කල්යෑම ගැන හැම පැත්තෙන්ම මැසිවිලි නැගෙනවා. ඡන්ද පවත්වන කන්තෝරැවෙ ලොකු ලොක්කොත් මේ ගැන ඉන්නෙ ලොකු අසතුටකින්.... අවුරුදු ගණනක් මේ විදියට පුංචි ඡන්දය කල්දැමීම ගැන ඡන්ද කොමිසමේ ලොක්කා ඒ ඒ පක්ෂවලට කරුණු කියන්න පසුගියදාක සාකච්ඡාවක් තියන්න තීන්දු කළා....
ඊළඟට උන්නැහේ පිළිගත්ත හැම පක්ෂයටම වගේ ආරාධනාවකුත් කළා අහවල් දවසෙ අහවල් වෙලාවට ඡන්ද කොමිසමට එන්න කියලා.... ඒ ඒ පක්ෂ ලේකම්ලයි නියෝජිතයොයි නගන ප්‍රශ්නවලට උත්තර සපයන්න විෂය භාර ඇමති තැනටත් එන්න කියලා විශේෂ ආරාධනා පත්තරේකුත් ඇරියා....
ඔන්න ඡන්ද කොමිසම කිව්ව විදියට සේරම පක්ෂ නියෝජිතයො කිව්ව වෙලාවට සාකච්ඡාවට ආවා.... කොමසාරිස් තැන මුල් පුටුවෙ හිටියා... ඒත් ප්‍රශ්නවලට උත්තර දෙන්න නියමිත විෂය භාර ඇමැති තැන කිව්ව වෙලාවට ආවෙ නැහැ. ඒත් සුපුරුදු විදියට රැස්වීම තිබ්බ.... කතාබහ ඉවර කරල පක්ෂ නියෝජිතයො සේරම පිටවෙලා යමින් ඉන්න කොට....
එකපාරටම විෂය භාර ඇමැති තැන එතෙන්ට කඩාපාත් වුණාලු. ලොකු වැඩගොඩක හිරවුණා ඒ හින්දා එන්න බැරිවුණා කියාගෙන එයා එනකොට නියෝජිතයන්ගෙන් හුඟ දෙනෙක් යන්න ගිහිල්ලලු....
විෂය භාර ලොක්කගෙ මේ වැඩේ නිසා කේන්තියෙන් හිටපු ඡන්ද කන්තෝරැවෙ ලොක්කා අන්තිමේ මෙහෙම කිව්වලු.... “පක්ෂවල කට්ටිය වෙලාවට ආවා. අපි රැස්වීම තිබ්බා. දැන් රැස්වීම ඉවරයි. එයාලා යන්න ගියා. මමත් යන්නයි හදන්නෙ... මේක වැදගත් රැස්වීමක්. ඒ වගේ දේකට මින් පස්සෙවත් වෙලාවට එන්න දැනගන්න ඕන.... මමත් දැන් යනවා....”
එහෙම කිව්ව ඡන්ද කන්තෝරුවෙ ලොක්කන් යන්න ගියා. විෂයභාර ඇමැති තැන හිස් අතින් ආපසු හැරුණා.