2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා

එතුමාට මලපනී

 2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1111

රටතොට බලන්න එන කස්ටිය ගැන වැඩ කරන එක්තරා රාජ්‍ය ආයතනයක් තියෙනවා. මේ විෂය භාරව ඉන්නේ සියනෑ කෝරළෙන් කවුන්සිලේට ආපු රණකාමී ඇමැති සයිස් මහත්තයෙක්...

පසුගියදා මේ ඇමැති තැන තමන් භාරයේ තිබෙන යටකී ආයතනයේ පාලක මණ්ඩලයේ  රැස්වීමක් පැවැත්තුවා. එතන මහපුටුවේ ඉන්නේ ප්‍රබල ලලනාවක් කිව්වොත් අපි වැරදි නැහැ... ඇමැතිතුමන් වෙලාවට අනුව රැස්වීමත් පටන්ගත්තා.
රැස්වීම පටන්අරන් කතාබහ ආරම්භ කරනකොටම මේ ආයතනේ භාරව ඉන්න ලලනාව තමන්ගේ අතේ තිබුණ මොබයිල් ෆෝන් එක මේසේ උඩින් තිබ්බා... දැන් ඇමැතිතුමා කතා කරනවා. අනෙක් අය අහන් ඉන්නවා.

ඔහොම ටික වෙලාවක් යනකොට තමයි ඇමැතිතුමා දන්නේ මේසෙ උඩ තිබෙන මොබයිල් ෆෝන් එකෙන් රැස්වීමේදී ඇමැතිතුමා කරන කතාව පටිගත කරන බව..

ඒක දැක්කම ඇමැතිතුමාට අසූහාරදාහට කේන්ති ගියා. එයා මේ ෆෝන් එක තියාපු නෝනා මහත්තයට ලොකු බරබරයක් දැම්මා... “තමුන් කාගෙන් කොහෙන් ආවත් කමක් නැහැ. මෙතන ඇමැති මමයි. මගේ කතා මෙහෙම පටිගත කරන්නේ කාට දෙන්නද?” වගේ ප්‍රශ්න නගමින් සෑහෙන වෙලාවක් මේ ගෝෂාව තිබුණා. ඊටපස්සේ සභාතොමෝ අසතුටින් විසිර ගියා. ඇමැති තැන දැන් මේ කතාව ඉහළම තැන්වලට පැමිණිලි කරන්නලු යන්නේ.