2020 අගෝස්තු 01 වන සෙනසුරාදා

මනාපෙට ගහපු කැලෑ පත්තරේ

 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:48 949

මහ ඡන්දෙ මනාප පොරේ උග්‍ර දිස්තිරික්කවල මනාප ලබාගන්න මරාගෙන මැරෙන සයිස් එකේ සටන් පටන් අරගෙනලු... මනාප බිලීබාගන්න සමහර අපේක්ෂකයො ඉතාම අහිංසක උපක්‍රම යොදද්දි තවත් අය සටකපට කූඨ ප්‍රයෝග පාවිච්චි කරන්නත් පටන් අරන් කියලයි ආරංචි...

සමහරැන් මනාපෙ ගන්න කරන සටකපට වැඩ ගැන ඇහුවම හිනහත් යනවා... හුඟාක් අය නොයෙක් දේවල් බෙදන අතරෙ අමුතුම ගේමක් ගහලා මනාප ලබාගන්න ජරමරයක් කරපු අපේක්ෂකයෙක් ගැන අපට අහන්න ලැබුණා... මෙවර මහ ඡන්දෙ පොහොට්ටු කස්ටිය අතරෙ මනාප පොරේ උග්‍රම දිස්තිරික්කෙකින් මේ තැනැත්තා ඡන්දය ඉල්ලනවා. උන්නැහේ හිටපු මන්ත්‍රී සයිස් තරුණ පොරක් වුණත් පසුගිය කාලෙ කරපු වැඩක් නැති නිසා ජනප්‍රියකම අඩුවෙලාලු... ඉතින් මනාප වලින් එයා ලොස්ට් වෙන්න පුළුවන් බව කලින්ම දැනුණා...

කොහොම වුණත් මේ අපේක්ෂකයා අපේක්ෂක ලැයිස්තුවට ආවෙ ඒ පළාතෙ එක්තරා ජන කණ්ඩායමක් නියෝජනේ කරන්න... ඕනම පක්ෂයකින් එක එක ජාතිවලට කුලවලට අපේක්ෂකකම් දෙන එක සිරිතක්...

එයා නියෝජනේ කරන පළාතෙ තමන්ගෙ මිනිස්සුන්ගෙ ඡන්ද ටිකවත් තමන්ට නොලැබෙන බව මෙයාට පෙනුණා... ඒ හින්දා පසුගිය තැපැල් ඡන්දෙට කලින් එයා අර නොසිතන අමුතුම ගේමක් ගැහුවා...

තමන් නියෝජනේ කරන දිස්ත්‍රික්කෙ තමන්ගෙ අයගෙ ඡන්ද පනස්දාහක් විතර තියන නිසා තැපැල් ඡන්දෙට කලින්ම වැඩේ පටන්ගත්ත බවයි ආරංචි...

මොකද්ද දන්නවද අපේක්ෂකයා කළේ... ෆුල්ස්කැප් කොළයක් අරගෙන ලියුවා කැලෑ පත්තරයක්. එයා ඒක ලියුවෙ කාටවත් විරුද්ධව නෙවේ... එයාටම විරුද්ධවයි. ඒක ලියවුණේ මෙයා නියෝජනේ කරන කුලයට විරුද්ධවයි...

කැලෑ පත්තරේ අවසානෙ ලොකු අකුරින් ඔය.... ට අපි ඡන්දෙ දෙනවද? කියලා ලියලයි ලියුම හමාර කළේ...

එයා මේක කළේ මේක දකින තමුන්ගෙ මිනිස්සුන්ගෙ ලේ ටික රත් කරලා මනාපෙ කඩාගන්නලු.

කොහොමහරි තැපැල් ඡන්ද දවසෙ ලියුම වැඩ කළාලු... එයාට මනාපෙ නොදෙන්න හිටපු මිනිස්සුත් පෝලිමේ ගිහිල්ලා තමුන්ගෙ එකාට කතිරෙ ගැහුව බවයි ආරංචි...