2020 ජුලි 11 වන සෙනසුරාදා

වෙලාවට වැඩ

 2020 ජුලි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 825

පසුගිය බදාදා උතුරු පළාතට ගිය දකුණේ දේශපාලන ලොක්කෙක් උතුරේ ඉන්න ඉහළම හින්දු පූජක තැන මුණගැහෙන්න වෙලාවක් ඉල්ලුවලු.

ඒ අනුව පූජක තැන වෙලාව දුන්නා තමන්ගේ කාර්යබහුල කාල සටහනත් වෙනස් කරලා කියලයි කියැවුණේ..

කොහොම නමුත් මේ කාර්යබහුල පූජකතුමා තමන්ගේ ආගමික මධ්‍යස්ථානෙට නියම වෙලාවට ඇවිත් හිටියත් එනවය කිව්ව දේශපාලන නායකයා ආවේ නැහැ. පැයක් ප්‍රමාදයි දෙකක් ප්‍රමාදයි අන්තිමේ පැය තුනකුත් ගිහිල්ලා.. පූජකතුමාට සැරටම කේන්ති ගිහිල්ලා යන්න හදනකොට ඔන්න අරයා එනවයි කියලා කිව්වා.

කිව්වා වගේම එයා රුගත් වාහනය ආවා. පූජක තැන ඇතුළු කුටියට වී දැන් මෙයා එයි දැන් මෙයා එයි කිය කිය බලා සිටියත් එයා පැය භාගෙකට කිට්ටු කාලයක් තමන්ගේ ජංගම දුරකථනය කනේ තියාගෙන ලොකු කතාවකට වැටිලා හිටියලු.

ඔන්න ඊටපස්සේ මේ නායකයා ඇවිත් අර පූජකතුමා මුණගැහුණා. උන්නැහේ ඒ වෙනකොට හිටියේ පුපුරන්න තරම් කේන්තියෙන්.. තමන් හමුවට ආව නිසා දේශපාලන නායකයා සමඟ වචන කිහිපයක් කතා කරපු පූජකතුමා තමන්ට තවත් වැඩක් ඇතැයි කියලා යන්න සූදානම් වුණා.

ඒ සමඟ දේශපාලන නායකතුමත් යන්න ගියා. හැබැයි මේ හමුවට කපුකම් කරපු උතුරේ දේශපාලනතුමාට පූජකතුමාගෙන් ලුණු ඇඹුල් ඇතිව හොඳ දෙකක් අහගන්න ලැබුණා...

මේ කියන දේශපාලනතුමා උදේ සිට රෑ වෙනතෙක් තමන් හරියට වෙලාවට වැඩ කරනවය කියලා එයාම කියාගන්න එක්තරා පක්ෂයක නායකයෙක්ලු.