2020 ජුනි 06 වන සෙනසුරාදා

ලංකාවට අඩු එච්චරයි

 2020 ජුනි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 876

ආණ්ඩුවෙ ඇමැති සයිස් පොරක් අලුත්ම ව්‍යාපෘතියකට අතගහලලු... ඒක අලුත් සතුන් වත්තක්ලු. මේ සතුන් වත්ත හදන්න උන්නැහේ සැලසුම් කරල තිබෙන්නෙ රජරට පළාතෙ තලාව කිට්ටුව කැලෑවක කියලයි ආරංචි....

දැනට කැලේ තියෙන අක්කර හැට හැත්තෑවක් සුද්ද බුද්ද කරලලු නව සතුන් වත්ත ඉදිකරන්නෙ... මේකට අදාළ යෝජනාව ළඟදීම කැබිනට් සයිස් කස්ටියගෙ අනුමැතියට ඉදිරිපත් කරන්නයි සූදානම.

ඒත් මේ කතාව ගැන රටේ ඉහළම මන්දිරේකට ලැබුණ වාර්තා අනුව නම් ලංකාවට තියෙන සතුන් වතුත් හරියට කරගන්න බැරැව අලි කොටි වලස්සු මහ දවල් දකින්න පුළුවන් රජරට පළාතට අමුතුවෙන් සතුන් වතු මොකටද කියල ප්‍රශ්න කරලලු...

මේකෙන් සිද්ධ වෙන්නෙ සතුන් වත්ත මුවාවෙන් රජරට සරුසාර කැලෑවක් විනාශවීමත් තව තව ජරමර සිදුවීමත් බව තවත් කිහිප දෙනෙක් ආණ්ඩුවෙ ඉහළම තැන්වලට පැමිණිලි කරලලු...

මේක කරන්න යන්නෙ මේ වගේ වැඩවලට නම් දැරෑ රජරට පලාතෙ බලවතෙක්ලු... මේ සතුන්වත්තට අමතරව පිළියන්දල පැත්තෙන් තවත් ඒ වගේ ආයතනයක් ඉදි කරන්නත් එයාල අපේක්ෂා කරන බවයි ආරංචි...

කොරෝනා වසංගතය නිසා රටම විපතට පත්වෙලා ඉන්න මොහොතක ආණ්ඩුවෙ ඇමැතිවරු ක්‍රිකට් පිටි සතුන් වතු හදන්න ගිහිල්ලා ආණ්ඩුවට තියෙන ලකුණු ටිකත් කපා දමන එක නම් නියමෙට සිද්ධ කරනව... මේ ගැන කාරණා කාරණා දන්න උදවිය කියන්නෙ අලුත් සතුන් වත්ත හැදුවොත් ඒකෙ නිල් මොණරු පියාඹාවි කියලයි.