2020 මැයි 30 වන සෙනසුරාදා

බෑන්ඩ් මෑන්ගේ ක්‍රිකට් දේශනය

 2020 මැයි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 547

මේක ක්‍රිකට් කතාවක්. පසුගිය දාක ආණ්ඩුවේ ඉහළම මන්දිරේකට මේ රටේ ක්‍රිකට් ලොක්කො කැඳෙව්වා. මහත් ආන්දෝලනයකට ලක්වූ හෝමාගම ක්‍රිකට් පිටිය ගැනත් ලංකාවේ ක්‍රිකට් නැග්ගීම ගැනත් කතා කරන්නයි මේ හමුව තිබ්බේ.

මහේල සංගා වගේ මේ රටේ ඉහළම ක්‍රිකට් තරු ඒකට ඇවිත් හිටියා. මෙතනදී ක්‍රීඩකයන් ඉතාමත් සාවධානව ක්‍රිකට් නගා සිටුවීම ගැන උපදෙස් දුන්නත් ඒ ගැන කාගෙත් ප්‍රශංසාව හා ප්‍රසාදය එයාලට හිමිවුණා...

ඔය අල්ලපනල්ලේ මේ රුස්වීමට ඇවිල්ලා හිටිය අයි.සී.සී. එකෙන් ක්‍රිකට් තහනමක් පනවලා ක්‍රිකට් වැඩවලින් ඉවත් කරපු ලොක්කෙක්...

ලංකාවේ ක්‍රිකට් මේ තත්ත්වෙට පත්වුණේ උන්නැහේලගේ කෙරුවාව නිසාය කියලත් සමහරු චෝදනා කරද්දි තමන්ගේ දේශපාලන බලය නිසා මේ කළු කෝට්ධාරියත් ක්‍රිකට් සංවර්ධන රැස්වීමට ඇවිත් හිටියා. එච්චර විතරක් නෙවෙයි ක්‍රිකට් නැග්ගිල්ල ගැන ලොකු දේශනේකුත් දුන්නා...

ලංකාවේ ක්‍රිකට්වලට මෙයාලා කරපු කියපු දේවල් දන්න නිසා අපේ කීර්තිමත් ක්‍රිකට් තරැත් නිහඬව බිම බලාගෙන හිටියා මිසක් මුකුත් කිව්වෙ නැහැ. ඒත් රැස්වීමෙන් පස්සේ ලංකාවේ ක්‍රිකට් මණ්ඩලේ ලොක්කො ලෝක ක්‍රිකට් තහනමකට ලක්ව සිටින මේ තැනැත්තට දේශනයක් කරන්න ඉඩ දීම ගැන ලොකු බරබරයක් දැම්මලු...

ඒ හුඟදෙනෙක් මෙයත් එක්ක එක පිලෙන් ක්‍රිකට් මණ්ඩල තරගෙට ඉදිරිපත් වෙලා තනතුරුවලට පත්වුණ අය. ඒත් එයාලට මෙයාගෙ කෙරුවාව අල්ලන්නෙ නැති නිසා දැන් විරසකලු... මේ හුටපටය ගැන දැන් රටේ ඉහළම තැන්වලටත් තොරතුරු වාර්තා වෙලා. මහ ඡන්දෙන් පස්සෙ ක්‍රිකට්වලට ලොකු සුද්දයක් දෙන්න සිදුවන බවත් බලවත් තැනකින් කියැවුණ බවයි ආරංචි.