2020 මැයි 23 වන සෙනසුරාදා

ජංජාලයක් වූ ෆේස්බුක් කතාව

 2020 මැයි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 797

උතුරු සන්ධානෙ මන්ත්‍රී කස්ටියකට (තිරන්) මන්තිරිතුමා ගැන මල පැනලයි ඉන්නෙ. ඒකට හේතුව උන්නැහේ කොටි සටනත් කොටි ලොක්කන් රටට කරපු වැඩේත් වැරදියි කියල ප්‍රසිද්ධියේම කීම....

ඉතින් මේකට තදින්ම කේන්ති ගිහිල්ල ඉන්න උතුරෙන් ආපු (භවන්) මන්තිරිතුමා මේ ගැන දෙකක් කතා කරන්න උතුරු සන්ධානෙ ලොක්කෙක් වන (සේනාධි) උන්නැහේ හම්බුවුණා... වටපිට බලලා එහෙම හම්බුවෙලා, කතා කරන්න පටන් ගත්ත වෙලේ ඉඳලම එයා කළේ කොටින් ගැන වැරදියට කතා කළ තිරන් උන්නැහේට දෙහි කැපීමයි. ඉතාම සැර වචනවලින් මේ දෙහිකැපීම කරගෙන ගිහිල්ල අන්තිමට තිරන් පක්ෂයට කරපු හානිය නිසා එයා දොට්ට දාන්න ඕන කියමින් කතාව නතර කළාලු.

හැබැයි මේ කතාව කරගෙන යද්දි (භවන්) මන්තිරිතුමාට ලොකු වරදක් සිද්ධවෙලා තිබුණා. ඒ තමයි තමන්ගෙ අතේ ඒ වෙලාවෙ තිබුණ සුපිරි ස්මාට් ෆෝන් එකේ (ෆේස් බුක්) සම්බන්ධය විවෘත වෙලා තිබීම.... ඒ නිසා භවන් මන්තිරිතුමා (තිරන්) මන්තිරිතුමා ගැන කියාපු කතා සේරම එයාල නොදැන ෆේස්බුක් මගින් ප්‍රචාරය වුණාලු...

හැබැයි මේ ගෝරනාඩුවේදී (භවන්) මන්තිරි තැන හමුවුණ (සේනාධි) උන්නැහේ ලොකු ප්‍රතිචාරයක් දක්වල තිබුණෙ නැහැ. එයා හිතන්නෙ දෙන්නගෙ සාකච්ඡාව දුරකතනයෙන් පටිගත කරන්න ගිහිල්ල (ෆේස්බුක්) බොත්තම එබිල වැඩේ දෙල්වුණා කියලලු.

කොහොම හරි භවන්තුමා (තිරන්) උන්නැහේ ගැන කරපු මේ සැර කතාව (තිරන්ට)ත් ආරංචිවෙලා එයා ෆේස් බුකියෙන් වැඩේ අල්ලගෙන. දැන් උතුරු සන්ධානෙ ඇතුළෙ එක ජංජාලයයි. අන්තිමේදී මේ හුටපටේ පක්ෂනායක සම්පන්දන් උන්නැහේ ළඟටත් ගියා. දැන් එයා නඩුව අහන්නලු යන්නෙ. ඒ සඳහා වහාම (ෆේස්බුක්) වාර්තාව තමන්ට ලැබෙන්න සලස්සන්න කියල (තිරන්) පාර්ශ්වයට නියම කරලලු...

කොහොම නමුත් ලබන සතිය වෙනකොට මේ කතාව උතුරු සන්ධානෙ ඇතුළෙ ලොකු දේශපාලන තොවිලයක් වෙන්න පුළුවන් කියල තතු දත් අය කියනවා.