2020 ජනවාරි 18 වන සෙනසුරාදා

පත්කළා - අස්වුණා

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:30 1444

ගුවනට සේවා සපයන ආණ්ඩුවේ අධිකාරියකට පත්වුණ අලුත් පාලන මණ්ඩලේ රටේ ඉහළම පෙළේ ප්‍රභූ පවුලකට සම්බන්ධ දෙන්නෙක් ඉන්නවය කියලා කතාවක් ගියා.

මේ පත්වීම් සිද්ධ වුණේ කවදද ඒක කළේ කවුද... ආණ්ඩුවේ පත්වීම් කොමිටියෙන්ද කියලා කවුරුවත් දන්නෙ නැහැ...

පවුලේ අයට තනතුරැ තාන්න මාන්න දීම නවත්වලා තිබෙන යුගයක මේක මෙහෙම වුණේ කොහොමද කියලා හුඟ දෙනෙක් සොයන්න පටන්ගත්තා. මේ සොයාබැලීම කළ අය අතරේ රටේ ලොකු මහත්තයත් දෙවැනි මහත්තයත් දෙන්නම හිටි වග හුඟදෙනෙක් නොදන්න කරුණක්...

අන්තිමේදී කාරණා සොයාගෙන යනකොට හෙළිදරව් වුණේ මේ පත්වීම් දෙක ඉහළින් නොඅසා සිද්ධ කළේ විෂය භාර දේශපාලන ලොක්කා බවයි.

පත්වීම් ලබලා තිබුණේ රටේ දෙවැනි මහත්තයාගේ පවුලට ළඟදි සම්බන්ධ වුණ පවුල් දෙකක නෝනා කෙනෙක් සහ මහත්තයෙක්. කොහොමින් කොහොමහරි ඒ කාරණාව දැනගත්ත ගමන් මේ දෙන්නගෙන් නෝන මහත්තය තනතුරින් ඉවත්විය යුතුයි කියලා ඉහළින් තීන්දු කළා...

අනෙක් කෙනා මෙබඳු තනතුරු ගණනාවක් ආණ්ඩු කිහිපයක් යටතෙම දැරූ ඉහළ පෙළේ වෘත්තීය සුදුසුකම් සහිත කෙනෙක් නිසා එයාට ඒ තනතුර දරන්න වරම ලැබුණලු..

කොහොම නමුත් පාලක පන්තියේ පවුලේ කෙනෙක් තනතුරින් ඉවත් විය යුතුය කියලා රටේ පළමු වැනි මහත්තයත් දෙවැනි මහත්තයා එකපාරටම තීන්දු කිරීම හොඳ ළකුණක් බව ඒ ගැන තතු දත් අය කියනවා.