2020 ජනවාරි 11 වන සෙනසුරාදා

මනාපේ - අමනාපය

 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 914

අත පාටියෙ.... පුලතිසිපුරේ ජනප්‍රිය තරුණ චරිතයක් ඉන්නවා.... උන්නැහේ කලක් රජරට පළාතෙ ලොකුම ලොකු ඇමැතිකමක් දැරුවා.... ඊට කලින් දියවන්නා කවුන්සිලෙත් ටික දවසක් හිටියා....

උන්නැහේ පළාතෙ ප්‍රබල දේශපාලන චරිතයක් සෙවණේ හැදුණු වැඩුණු දේශපාලන ගෝලයෙක් හැටියටයි ප්‍රසිද්ධ වුණේ. හොඳ සංවිධායකයෙක් හැටියට පළාතෙ ජනප්‍රිය උන්නැහේ පහුගිය මහ පුටු ඡන්දෙදි අත පාටියෙ ලොකු මහත්තය නිර්පාක්ෂිකව හිටියත් පොහොට්ටුව දිනවන්න සෑහෙන වැඩ කොටසක් කළා කියලයි ආරංචි....

හිටපු ලොකු මහත්තය රටේ මහ පුටුවෙන් බැහැලා ගියාට පස්සෙ උන්නැහේ දැන් නැවත වරක් පුලතිසිපුරෙන් ඉදිරි මහ ඡන්ද සටනට එන්න තීන්දු කළා.... හැබැයි ඒ සමඟ පළාතෙ ජයරත්නයක් වගේ ඉන්න උන්නැහේගෙ ගෝලයට මේ පාර ඒ පැත්තෙන් දියවන්නා කවුන්සිල් සටනට එන්න ලැබෙන්න නැහැ කියලා ප්‍රචාරයක් යනවා. ඒක ගෙනියන්නෙ පුලතිසිපුරේ අත පාටියෙම එක්තරා පිරිසක්ලු....

ගුරුතුමා ඡන්දෙට එන නිසා ගෝලයත් ඡන්දෙට එන එක හොඳ මදි්... එයා ජාතික මට්ටමේ ලැයිස්තුවෙන් එනවා කියලා මේ කතාව ප්‍රචාරය කරන උදවිය කියනවලු.

දැන් මේක තිරය පිටුපස ගුරු ගෝල හටනක් වෙන්න පුළුවන් කියල සමහරු කියනවා... එහෙම නැහැ කියල තවත් සමහරු කියනවා. මොනව වුණත් මනාප සටන අමනාප සටනක් වෙන්න පුළුවන් බවයි තතු දත් අය කියන්නෙ.