2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

ජයවේවා... ජයවේවා

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 1194

අලුත් ආණ්ඩුවෙ දෙවැනි මහත්තයගෙ පුටුවට හිටපු ලොකුතැන පත්වෙන්න කළින් එතෙන්ට බොරළුගොඩින් කෙනෙක් එනවය කියලා ලොකු ප්‍රචාරයක් ගියා.

ඒකාබද්දෙ ලොකු පුටුවක අසුන් අරන් ඉන්න ගුණවර්ධනය කරපු මුන්නැහේ මෙතෙන්ට එනවය කියන ආරංචියට තටු ලැබිල ප්‍රචාරය වෙන්න ගන්නකොටත් විජේරාම පාරෙ තියෙන මහින්ද උන්නැහේගෙ ගෙදරට මහ සෙනඟක් ඇවිත් හිටියෙ උන්නැහේ රටේ දෙවැනි පුටුවට පත්වෙනකම්ලු.

ඒත් එතෙන්ට ආපු පොහොට්ටු මන්ත්‍රී සයිස් පොරක් පැමිණ සිටි කස්ටිය අතරට ගිහිල්ල පොඩි කතාවක් ඇරියා රටේ දෙවැනි මහත්තයගෙ පුටුවට එන්නෙ මහින්ද උන්නැහේ නෙවෙයි බොරළුගොඩ මහත්තයය කියල.

ඉතින් මේ කසුකුසුව විජේරාම පාරෙ ගෙදරට රැස්වෙලා හිටපු අයට ලැබුණ ගමන් සමහරු ටිකක් නොසන්සුන් බවට පත්වුණා. ටික වෙලාවක් යනකොට එතැන හිටපු සෙනඟ හත් අට දෙනෙකුට අඩුවුණා. පස්සෙ සොයල බලනකොට ඒ ගොල්ලො අගමැති වෙනවය කියාපු බොරළුගොඩ මහත්තයලගෙ ගෙදරයි අවට පාරෙයි රුස්වෙලා ඉන්න බවට ආරංචියක් ලැබුණා.

ඒක එහෙම සිද්ධවෙන අතරෙ හිනාවෙවී විජේරාම මන්දිරයෙන් එළියට බැහැපු හිටපු ලොකු තැන අගමැති පුටුවෙ දිව්රැම් දෙන්න යන්න පිටත්වුණා...

එහෙම පිටත්වෙන්න හදන ගමන් උන්නැහේ එතන ඉතුරැවෙලා හිටපු අයට කිව්වෙ... &මම පොඩි ටෙස්ට් එකක් කළා... ඒක සාර්ථකයි. දැන් මම දන්නවා මම වෙනුවෙන් ඉන්නෙ කව්ද කියලා....

එහෙම කියපු මහින්ද උන්නැහේ දිව්රැම් දෙන්න පිටත් වුණා. ගිහිල්ලා ඒ කටයුතු ඉවරකරලා ආපසු විජේරාමෙට එනකොට උදේ එහේ ඉඳලා මාරැවෙලා ගිය අය මෙන්න ආපසු විජේරාමෙට ඇවිල්ලා පොරකමින් හිටියා... ඒ මදිවට හිටපු ලොකුතැනට ජයවේවා කියන්නත් පටන් ගත්තා. ඒ කාටත් ජයවේවා, ජයවේවා කියපු හිටපු ලොකු තැන මන්දිරය ඇතුළට ගියේ මෙහෙව් අයටත් ශිල්ප සෑදේ කියමින්ලු....