2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

තමුසෙට ඕන නම් තමුසෙ යනවා

 2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 1678

පසුගිය දවසක රටේ ලොකු මහත්තයගෙ ප්‍රධානත්වයෙන් දියවන්නා කවුන්සිල් ශාලාවක ආරස්සක අංසෙ එක්තරා කමිටුවක් රැස් වුණා කියමුකො...

ඒකට ආණ්ඩුවෙ - විපක්ෂයෙ විතරක් නෙවෙයි ත්‍රිවිධ හමුදා හා පොලිස් ලොක්කොත් ඇවිත් හිටියා... එතන කතා කළේ සයිබර් සිකුරිටිවලට අලුත් නීති හැදිල්ල ගැනයි. මේ ගැන කතාව යද්දි හමුදාවෙ සයිබර් සිකුරිටි විශේෂඥයා වන ඒ ගැන ආචාර්ය පට්ටමක් ද තිබෙන ඉහළම පෙළේ හමුදා ලොක්කෙක් කරැණු කියන්න ගත්තා.. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨගෙ කාලෙ මේකට නීති හදාපු බවත් ඒවා ක්‍රියාත්මක කරගන්න බැරිවුණු බවත් එයා එතනදි කිව්වා...

ඔහොම කියනකොට මේ වැඩේට අලුතින් නීති හදන්න ට්‍රයි කරන ආණ්ඩුවෙ රාජ්‍ය මට්ටමේ ඇමැතිකමක් කරන කළුතර පැත්තෙ නීතිඥතුමකුට කේන්ති ගියා... උන්නැහෙත් මේ හමුදා නිලධාරිතුමත් හිටියෙ සභාවෙ දෙවැනි පේළියෙ ඈතින්ලු...  සභාවෙ කටයුතු කෙරීගෙන යද්දි පසුපෙළ හිටපු ඇමැතිතුමා ගිය ආණ්ඩුව කාලෙ මේකට පනත් හැදූ බව කියපු හමුදා ලොක්කට දොස් පරොස් කියන්න ගත්තලු.

නිකම් බොරු කියන්න එපා අයිෂෙ ඇමැතිතුමා කිව්වා... බොරු නෙවෙයි. මේක ඇත්ත. අදත් ඒ පනත අමාත්‍යංශයේ තියෙනව හමුදා නිලධාරියා කිව්වා...

පනත අමාත්‍යංශෙ.. නිකම් බොරු නොකිය යනව අයිෂෙ යන්න... ඇමැතිතුමා ආයෙම කිව්ව... ඇමැතිතුමාගෙ මේ කතාවට ඒ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරී තැනට මල පැන්නා...

යන්න.. මට යන්න කියන්න තමුසෙ කවුද? තමුසෙනෙ ඕයි බොරැ කියන්නෙ. තමුසෙට ඕන නම් තමුසෙ යනවා... හමුදා නිලධාරියා සැරෙන් කියාගෙන කියාගෙන ගියා... ඒත් මේ කතාවල් ඇහුණෙ එතන ළඟ හිටපු මන්ත්‍රීල දෙතුන් දෙනකුටත් ආරක්ෂක ලොක්කො දෙතුන් දෙනකුටත් විතරයි...

කොහොම හරි කතාව තවත් සැරට යද්දි වැඩේ අවුල් බව දැනගත්ත ඇමැතිතුමා එකපාරටම නැගිටල යන්න ගියාලු... මේ ඇමැති තැන මේ දවස්වල අලි පාටියෙ ලොකු තැනගෙන් උදහසට ලක්වූ කෙනෙක් කියලයි තතු දත් අය කියන්නෙ.