2017 මාර්තු 11 වන සෙනසුරාදා

මම ඔහේව ගෙදර අරිනවා

 2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 442

මේ දවස්වල විෂය මාරු කරනවය කියන ඇමැති ලැයිස්තුවෙ ඉහළින් ඉන්න කෙනාගෙ අමාත්‍යංශෙන් එන කතා පුදුමසහගතයි... උන්නැහේ තමන්ට හිතවත්ය කියන මන්තිරි සයිස් පස් දෙනෙකුට තමන්ගෙ ඇමැති අංසෙන් වාහන පහක් විතර කුලියට අරන් දීලලු...

මේවාට මාසෙට කුලිය විතරක් දසලක්සෙට වැඩී කියලයි ආරංචි... ඉතින් මේවට කුලී ගෙවීම භාරව මෑතකදී පත්වුණ නිලධාරියා ඉතාම නීතිගරුක නිසා උන්නැහේ මේවට කැබිනට් අනුමැතිය තිබේද කියල බැලුවා... ඒත් එහෙම එකක් නැති නිසා එයා මේ කුලී ගෙවීම නතර කළා කියමුකො... 

ඇමැතිතැන කොච්චර ගෙවන්න කිව්වත් මෙයා ඒක ගෙවන්නෙම නැතිලු... නොකරපු දේකට වරක් වැලිකඩ කට්ට කාපු මුන්නැහේ නීතියට එකඟ නැති ගෙවීම් මට නම් බැහැ කියලා...

ඒ නිසා වාහන කුලියට දුන්න කෙනාගෙ මාස 5ක කුලිය හැටියට ලස්ස 50කට වැඩි මුදලක් හිරවෙලා... මිනිහට මල පැනලලු... ඊට පස්සේ මිනිහා ඔය බලවත් ඇමැතිගෙ අමාත්‍යංසෙට ඇවිල්ලා අර නීතිගරුක නිලධාරීතුමාට ලොකු සත්තමක් දැම්මලු...

“මීට කලින් මෙතන හිටපු මිනිහත් අපිට කෙලින්න ඇවිල්ලා මමයි යැව්වෙ... මම තමුසෙත් යවනව මහත්තයෝ... බලාගෙන ඉන්න.” කියලා ලොකු ගෝරියක් දාලා... ඒක අහගෙන ඉඳලා හීනියට හිනාවුණ මේ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමා...
“ආ ඔයාද මෙතන මිනිස්සු යවන්නෙ... එහෙනම් මාවත් යවන්න... හැබැයි මොනව කළත් මේක මම ලවානම් කරගන්න බැහැ.” කියලා කීවලු...

නියමයිනේ...