2019 අගෝස්තු 10 වන සෙනසුරාදා

ඒක කළේ එයාලු

 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 831

බංගලි - ශ්‍රී ලංකා ක්‍රිකට් මැච් එක දවසෙ මාලි එක්දින ක්‍රිකට්වලින් සමුගත්තා. එදා ඒ තරගය නරඹන්න රටේ ලොකු මහත්තයා වගේම හිටපු ලොකු තැනත් ඇවිල්ලා හිටියා. නමුත් ඒ මැච් එකේදී එක්තරා අවාසනාවන්ත සිදුවීමක් සිද්ධ වුණා.

රටේ ලොකු මහත්තයගෙ නම කියනකොට නරඹන්නො දාපු ගෝරනාඩුව නිසා තමයි එච්චර ලස්සනට ගිය මැච් එක අවලස්සන වුණේ කියලා සමහරු කියන්න පටන් ගත්තා...

කොහොමින් කොහොම හරි මැච් එකට දවසකට විතර පස්සෙ රටේ ලොකු මහත්තයා හමුවෙන්න ආණ්ඩුවෙ එක්තරා ඇමැති කෙනෙක් ආවලු... 

ඇවිල්ලා කිව්වෙ එදා ක්‍රිකට් මැච් එක වෙලාවෙ ලොකු මහත්තයට දාපු ගෝරනාඩුව පිටිපස්සේ හිටියේ අහවලා කියලලු. මේ චෝදනාව නගපු කෙනත් චෝදනාව ලබපු කෙනත් නයි මුගටි වෛරයකින් පසුවන නිසා ලොකු මහත්තය ඒ කතාව සීයට සීයක්ම විශ්වාස නොකළත් විශ්වාස නොකළෙමත් නැතිලු.

කොහොම හරි මේ කතාව ඒ චෝදනාවට ලක්වුණු කෙනා දැනගෙන එකපාරටම ලොකු මහත්තයා හමුවෙන්න ගිහින් ඒක කළේ එයා නෙවෙයි කියලා දහඅතේ දිවුරන්න ගත්තලු...

ලොකු මහත්තයා ඒ ගැන ලොකු ප්‍රතිචාරයක් දැක්වූවෙ නැතුව හිටපු නිසා චෝදනාව ලබපු කෙනා ඉන්නෙ අප්සෙට් පිටලු. මේ රටේ ක්‍රිකට් පරිහානියට හේතුවත් උන්නැහේය කියලා ඔය චෝදනාව කරන ක්‍රිකට්වලට අයිතිවාසිකම් ඇති ඇමැති තැන හැමතැනම කිය කියා යන එකත් උන්නැහේට හිසරදයක් වෙලාලු.