2019 ජුලි 13 වන සෙනසුරාදා

කඩවර දේව පූජාවක්

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 950

රටේ බලවත්ම පුටුවක ඉන්න කෙනෙකුට තවදුරටත් තමන්ගෙ පට්ටම දරන්න ලැබෙන්න කියල පසුගියදා මහා කඩවර ශාන්ති කර්මයක් කළාලු.

කතරගම පූජා භූමියේ විශේෂ ස්ථානයක මේ කඩවර පූජාව සංවිධානය කළේ කලක් මාධ්‍යයටත් සම්බන්ධ වෙලා හිටපු සූරිය උන්නැහේ කෙනෙක්ලු... උන්නැහේගෙ කඩවර පූජාවට ඒකෙන් පල ලබාගන්න ඉන්න දේශපාලන බලවතාත් තකහනියක්ම පැමිණ සිටියා.

උන්නැහේ වෙනුවෙන් කඳ සුරිඳු පුදබිමේ සති දෙකක් තුළ සිදුකළ දෙවැනි පූජාවයි මේ. මෙයට කළින් සතියේ මේ දේශපාලන බලවතාගෙ පුත්‍රය ඉන්දීය දෛවඥයෝ එක්ක ඇවිල්ල තුන් යම් රාත්‍රියක් පුරා මහා දේව යාගයක් කළා...

කඩවර පූජාවත් ඒ වගේම ඉහළින් සංවිධානය කරල තිබ්බ.... යක්ෂාධිපතියකු වන කඩවර හොඳට හොඳ නරකට නරක ගොවිතැන් බත් සශ්‍රීක කර දෙන්නට සමත් තමන්ගේ අරමුණු කඩිනමින් ඉටුකරදෙන දේව සමාගමේ සාමාජිකයෙකි. මේ කඩවර පූජාව කතරගමදී සිදුකළේ කඩවර වැඩ කරන්නේ කතරගම දෙවියන්ගේ රැකවරණ යටතේ බවට ඇති පිළිගැනීම නිසාය.